මේගොල්ලෝ 2019 ජනාධිපතිවරණය දිනලා කිරිබත් උයද්දී කැකුළු හාල් 80 යි, දැන් 165 යි – නලින්

0
352

වත්මන් ආණ්ඩුවේ පාක්ෂිකයින් ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසු 2019 නොවැම්බර් මාසයේදී කිරිබත් උයද්දී තිබුණු මිල මෙන් දෙගුණයක් දක්වා දැන් සහල් මිල ඉහළ නැඟ ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසයි.

“කලින් දිගටම දිගටම මම කිව්වා මේ අවුරුද්දේ අපට හාල් මෙට්‍රික් ටොන් ලක්ෂ 9ක් පිටරටින් ගේන්න ඕනෙ වෙනවා කියලා රටේ ජනතාවට කන්න. ඔන්න දැන් අපි දකිනවා අද මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක් ගේන්න කැබිනට් අනුමැතිය ලැබුණා ලු. තුනෙන් බේරෙන්න හම්බෙන්නෙ නෑ, අඩුම ගාණෙ තව ලක්ෂ 6ක් – ඒ කියන්නෙ සම්පූර්ණ ලක්ෂ 9ක් ගේන්න වෙනවා පිටරටින් හාල්. අපි හිතුවොත් පිටරටින් ගේද්දී ඩොලර් ශත 40ක් වෙනවා කියලා – ආසන්න වශයෙන් රුපියල් 80ක් 85ක් වුණොත් – අපට ඩොලර් මිලියන 300කට වඩා වැඩි මුදලක් වියදම් කරන්න වෙනවා මේ අවුරුද්දෙ පිටරටින් ගේන හාල් වෙනුවෙන්. මම අහනවා රටේ ජනතාව වෙනුවෙන් ඩොලර් තියෙනවාද කියලා. දැන් ගෙදර තියෙන කණකර ටිකත් විකුණලා ණය ගෙවන රටේ කොහෙද හාල් ගේන්න ඩොලර් ?

දකුණු ආසියාවේ සියලුම රටවල්වල විදේශ සංචිත වැඩිවෙද්දී අපේ 80%ක් විදේශ සංචිත අඩුවෙනවා 2019 ඉඳන් බලනකොට. බංග්ලාදේශය 37%කින් වැඩිවෙලා තියෙනවා. ඉන්දියාවෙ 37%කින් වැඩිවෙලා තියෙනවා. පාකිස්ථානයේ වැඩිම වැඩිවීම 48%කින්. භූතානය, නේපාලය සීයට විසිගණන් වලින් වැඩිවෙලා තියෙනවා. අර යුද්ධයක් තිබුණු ඇෆ්ඝනිස්ථානෙත් සීයට විස්සකට ආසන්න ගණනකින් වැඩිවෙලා තිබෙනවා. මාලදිවයිනෙත් වැඩිවෙලා. අපි තමයි දකුණු ආසියාවෙ විදේශ සංචිත අඩුවුණු එකම රට. දකුණු ආසියාවෙ කොවිඩ් තිබුණෙ ලංකාවෙ විතරද ?

නිකම් බොරු පච කෙළින්න එපා. මිනිස්සු රවට්ටන්න ලෑස්ති වෙන්න එපා. ගෙදර යන්න. දැන් මිනිස්සු කියන්නෙ ගෙදර යන්න කියලා. මිනිස්සු දන්නවා මේ ආණ්ඩුවට කරන්න බැහැයි කියලා. ඒක බොහොම පැහැදිලියි. දැන් බඩු මිල ගැන කතා කරද්දී මේගොල්ලො 2019 නොවැම්බර් මාසෙ කිරිබත් උයද්දී සුදු කැකුළු තිබුණෙ රුපියල් 80 ට. දැන් සුදු කැකුළු 165 යි. දෙගුණයක් වෙලා. කිරිබත් උයන එකත් දැන් සිහිනයක් වෙලා රටේ ජනතාවට”

පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා මේ බව පැවසුවේ ඊයේ (12) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here