Category: විශේෂ පුවත්

  • දෙමළ මාධ්‍යය පිළිතුරු පත්‍ර ඇගයීමේ මූලික කටයුතු (21) ආරම්භ වේ

    දෙමළ මාධ්‍යය පිළිතුරු පත්‍ර ඇගයීමේ මූලික කටයුතු (21) ආරම්භ වේ

    සටහන – රෂිකා හෙන්නායක

    කොළඹ (LNW):

    උසස් පෙළ දෙමළ මාධ්‍යය පිළිතුරු පත්‍ර ඇගයීමේ මූලික කටයුතු (21) ආරම්භ කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

    ඒ අනුව විෂයයන් කිහිපයකට අදාළව පාලක පිළිතුරු පත්‍ර සළකණු පටිපාටිය සම්මත කර ගැනීමේ ක්‍රියාවලිය මේ වන විට සිදු වෙමින් පවතී.

    විභාග කොමසාරිස් ජනරාල් එච්.ජේ.එම්.සී. අමිත් ජයසුන්දර මහතා සඳහන් කර සිටියේ හින්දු ධර්මය, ක්‍රිස්තියානි ධර්මය, හින්දු ශිෂ්ටාචාරය, භරත නැටුම්, පෙරදිග සංගීතය, කර්නාටක සංගීතය, බටහිර සංගීතය, චිත්‍ර, නාට්‍ය හා රංග කලාව සහ හින්දි යන විෂයයන්ට අදාළව එම කටයුතු ආරම්භ කර ඇති බවයි.

    යාපනය, කොළඹ, මඩකලපුව, ගම්පහ, කලුතර සහ කුරණෑගල යන නගර ආශ්‍රිත පිළිතුරු පත්‍ර ඇගයීම් මධ්‍යස්ථානවල දී එම කටයුතු සිදු කෙරෙන බවත් විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.

    එමෙන්ම සිංහල සහ ඉංග්‍රීසි මධ්‍යය ඇතුළු අනෙක් විෂයයන්ට අදාළව පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු ආරම්භ කිරීම සඳහා අයදුම්පත් ප්‍රමාණවත් පරිදි ලැබී ඇති බවත් එම කටයුතු ඉදිරියට ක්‍රියාත්මක කිරිම පිළිබඳ මේ වන විට අදාළ පාර්ශ්වයන් සමග සාකච්ඡා කරමින් සිටින බවත් විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

  • ජනාධිපතිවරයාගේ නිවසට ගිනිතැබීම සම්බන්ධයෙන් පරීක්ෂණ

    ජනාධිපතිවරයාගේ නිවසට ගිනිතැබීම සම්බන්ධයෙන් පරීක්ෂණ

    සටහන – රෂිකා හෙන්නායක

    කොළඹ (LNW): ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට 2022.07.09 වනදා ගිනිතැබීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් පවත්වන පරීක්ෂණය සඳහා ඊයේ (21) ත්‍රිවිධ හමුදාවේ පාර්ශ්වයන් කැඳවා තිබුණි. ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව මෙම පරීක්ෂණයට පැමිණ කරුණු දැක්වීම සිදුකළ ද ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් එම කරුණු දැක්වීම සිදු නොකළ බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි.

    නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පැවසුවේ අදාළ කරුණු දැක්වීම සඳහා ඉදිරි දිනයක් ලබා දෙන ලෙසට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් ලිඛිතව ඉල්ලීමක් සිදුකළ බවත් , එම ඉල්ලීම සැලකිල්ලට ගනිමින් ඉදිරි දිනයක දී මෙම පරීක්ෂණයට අදාළව කරුණු දැක්වීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව කැඳවීමට නියමිත බව එම නිවේදනයෙන් දැනුම්දී තිබේ.

    මෙම පරීක්ෂණය පවත්වන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවස 2022.07.09 වනදා ගිනිතැබීම සිදුවන අවස්ථාවේ දී ප්‍රමාණවත් ආරක්ෂාවක්, ආරක්ෂක අංශ විසින් සැපයූවාද යන්න පිළිබඳව සොයා බැලීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසිනි .

  • දඹානට උදා වූ පරිගණක වසන්තය (VIDEO)

    දඹානට උදා වූ පරිගණක වසන්තය (VIDEO)

    ඩී.පී. එඩියුකේෂන් යටතේ ක්‍රියාත්මක ඩී.පී. කෝඩින් ස්කූල් වැඩසටහනේ තවත් පියවරක් වශයෙන් ආදිවාසී දරු දැරියන්ට පරිගණක භාෂා අධ්‍යාපනය ලබාදීම සඳහා ඩී.පී. කෝඩින් ස්කූල් ශාඛාවක් පසුගියදා දඹාන විද්‍යාලයේ පිහිටුවන ලදී.

    දඹාන විද්‍යාලයේ දරු දැරියන්ට පරිගණක භාෂා අධ්‍යාපනය ලබාදීම සඳහා ටැබ් පරිගණක 60ක් පමණ ලබාදෙමින් එම ඩී.පී. කෝඩින් ස්කූල් ශාඛාව එහි පිහිටුවන ලද අතර ඒ හරහා දරු දැරියන් 300 දෙනෙකුට පමණ පරිගණක භාෂා හැදෑරීමේ අවස්ථාව හිමිව තිබේ.

    දැයේ දුවා දරුවන්ට පරිගණක භාෂා අධ්‍යාපනය ලබාදෙමින් ඒ ඔස්සේ ඔවුන්ට පරිගණක ක්ෂේත්‍රයෙහි මෘදුකාංග ඉංජිනේරු වෘත්තීය දක්වා වූ විවිධ රැකියාවන් ගණනාවකට මංපෙත් විවර කිරීමේ අරමුණින් යුතුව ධම්මික සහ ප්‍රෙසිලා පෙරේරා පදනම විසින් ඩී.පී. කෝඩින් ස්කූල් වැඩසටහන දියත් කර ඇත. සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදෙන මෙම මාර්ගගත පාඨමාලාවේ මූලික පදනම සම්පූර්ණ කරන දරු දැරියන්ට මොරටුව විශ්වවිද්‍යාලයේ Trainee Full Stack Developer පාඨමාලාව සමග සම්බන්ධ වීමට ද හැකියාව ලැබේ.

    ඈත පිටිසර දඹානේ ආදිවාසී දරුදැරියන්ට හෙට දිනයේ ලෝකය දිනන්නට අවශ්‍ය නව දැනුම ලබාදෙමින් ඩී.පී. කෝඩින් ස්කූල් ශාඛාවක් එහි පිහිටුවීම පිළිබඳව ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැත්තන් දැක්වූ අදහස් ඇතුළු තවත් විස්තර පහත වීඩියෝවෙන් නැරඹිය හැකිය.

    පරිගණකයක් හෝ ස්මාර්ට් ජංගම දුරකථනයක් ඇත්නම් ඔබේ දරුවාටත් නිවසේ සිටම මෙම කෝඩින් පාඨමාලාවට සම්බන්ධ විය හැකි අතර රුපියල් ලක්ෂ 24ක් වටිනා මෙම කෝඩින් පාඨමාලාව නොමිලේම හැදෑරීමට ඔබත් අදම ඔබේ දරුවාව dpcode.lk වෙබ් අඩවියට යොමුකරන්න.

    RN

    සබැඳි පුවත් –

  • පොළීසියෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

    පොළීසියෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

    සටහන – රෂිකා හෙන්නායක

    කොළඹ (LNW): රාමසාන් උත්සවය ලබන 23 වැනිදා පැවැත්වීමට සැලසුම් කර ඇති බැවින් , උත්සවය වෙනුවෙන් මුස්ලිම් පල්ලි ආශ්‍රිතව ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලිසිය පවසයි .

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ,පළාත් භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන් හා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්ට එම උපදෙස් නිකුත් කර ඇති බවත් , මුස්ලිම් ජනතාව බහුලව වෙසෙන පළාත්වල එම ආරක්ෂක වැඩපිළිවෙල ක්‍රියාත්මක බවයි .

  • පාස්කු ප්‍රහාරය සිහිකොට ජන පවුරක් රැස්වෙයි.

    පාස්කු ප්‍රහාරය සිහිකොට ජන පවුරක් රැස්වෙයි.

    සටහන – රෂිකා හෙන්නායක

    කොළඹ (LNW): සිව්වන වර්ෂ පූර්ණය වෙනුවෙන් ,පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සිහිකොට අද කොච්චිකඩේ ශාන්ත අන්තෝනි සිද්ධස්ථානයේ සිට කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය දක්වා ජන පවුරක් නිර්මාණය කිරිමට කතෝලික සභාව සැලසුම් කර ඇති අතර , අද උදෑසන 8 සිට කොච්චිකඩේ දේවස්ථානයේ සිට කටුවාපිටිය දේවස්ථානය දක්වා කොළඹ – මීගමුව මහ මාර්ගයේ මෙම ජන පවුර නිර්මාණය කිරිමට සැලසුම් කර ඇත.

    අද දින පෙරවරු 8.45 ට ප්‍රහාරයෙන් මියගිය පිරිස් සිහිකරමින් විනාඩි 2ක නිශ්ශබ්දතාවයක් ද පැවැත්වීමට නියමිත අතර , කතෝලික සභාව සදහන් කළේ අදාළ ප්‍රහාරයෙන් මියගිය පිරිස් සිහිකරමින් සහ වින්දිතයින්ට යුක්තිය ඉල්ලා මෙය සංවිධානය කළ බවයි .

    කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ සිට කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය දක්වා ඊයේ රාත්‍රී පාගමනක් ආරම්භ කර තිබූ අතර ඊට සමගාමීව විශේෂ රාත්‍රී දේව මෙහෙයක්ද පවත්වා ඇත.

  • ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත පිළිබඳ අමෙරිකානු තානාපතිනියගේ අදහස

    ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත පිළිබඳ අමෙරිකානු තානාපතිනියගේ අදහස

    සටහන – රෂිකා හෙන්නායක

    කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ සිටින අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය සහ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ අතර හමුවක් අද (20) කොළඹ දී පවත්වා ඇති අතර , සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් චන්ග් මහත්මිය ඇය මෙසේ පවසා ඇත. එහිදී ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පතේ කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවද ඇය පවසයි

    “ජාත්‍යන්තර ප්‍රමිතියෙන් තොර ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පතේ කරුණු සම්බන්ධයෙන් අපි සාකච්ඡා කළා. එම පනත් කෙටුම්පතේ කරුණු සම්බන්ධයෙන් ජනතාව අතර සහ පාර්ලිමේන්තුව තුළ පුළුල් අදහස් හුවමාරුවක් අවශ්‍ය බව පැවසුවා..”

    අදහස් ප්‍රකාශ කිරීමේ හෝ රැස්වීමේ නිදහස සීමා නොකර සිවිල් සමාජය, අධ්‍යාපනවේදීන් මෙන්ම මන්ත්‍රීවරුන්ගේ වැනි සියලුදෙනාගේ හඬට ඇහුම්කන් දී මෙම නව නීතිය ත්‍රස්තවාදයට එරෙහි සටනේ ඵලදායී මෙවලමක් කරගත යුතුබව ඇය පෙන්වා දෙයි.

  • පාසල් වලට ඇතුලත් කිරීමේ නව චක්‍රලේඛයක්

    පාසල් වලට ඇතුලත් කිරීමේ නව චක්‍රලේඛයක්

    සටහන – රෂිකා හෙන්නායක

    කොළඹ (LNW): අද (20) සිට බලපැවැත්වෙන පරිදි ජාතික පාසල්වල අතරමැදි පන්ති සඳහා සිසුන් ඇතුළත් කිරීමට අදාළව නව චක්‍රලේඛයක් නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

    ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අතරමැදි පන්ති සඳහා සිසුන් ඇතුළත් කිරීමේ ලිපි නිකුත් කිරීම අත්හිටුවා ඇති බව එම අමාත්‍යාංශය සඳහන් කළ අතර , නව චක්‍ර ලේඛයට අනුව අතරමැදි පන්ති සඳහා සිසුන් ඇතුළත් කරගැනීමේ බලය පාසලේ විදුහල්පතිවරයාට පැවරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

  • ඉදිරි දිනකීපය තුළ අපි තීරණයක් ගන්නවා – මහාචාර්ය ශ්‍යාම් බන්නැහැක

    ඉදිරි දිනකීපය තුළ අපි තීරණයක් ගන්නවා – මහාචාර්ය ශ්‍යාම් බන්නැහැක

    සටහන – රෂිකා හෙන්නායක

    කොළඹ (LNW): ජනාධිපති කාර්යාලයේ පැවති අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම අමතමින් ජනාධිපතිවරයා පවසා සිටියේ ලබන සතිය වන විට උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීමට ගුරුවරුන් යොමු නොවන්නේ නම් හදිසි නීතිය යටතේ අධ්‍යාපනය ද අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කරන බවය. ඒ අනුව ජනාධිපතිවරයාගේ එම අදහසට පිළිතුරු දෙමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම් බන්නැහැක මහතා දැක්වූ අදහස් ,

    “යම්කිසි සේවාවක් අත්‍යවශ්‍ය සේවාවක් විය යුත්තේ, ඒ සේවාවේ තිබෙන වැදගත්කම සහ ඒ සේවාව හරහා රටේ ජනතාවට ලබාදෙන්න පුළුවන් සේවය පිළිබඳ සලකලා. එහෙම නැතුව යම්කිසි වෘත්තියක නියැලි පිරිසක් තමන්ගේ වෘත්තීය ගැටලු ගැන කතා කරනකොට ඒ ප්‍රශ්නවලින් මඟහැර යෑමේ පිළිවෙතක් විදියට. එහෙම නැත්නම් ඒ පුද්ගලයින්ව බයගන්වලා හෝ ඒ පුද්ගලයින්ගෙන් බලහත්කාරයෙන් වැඩගැනීම සහ ඒ වගේ චේතනාවන් ප්‍රමුඛ කරගෙන එක් එක් සේවාවන් මේ රටේ අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්කරන ආකාරය පහුගිය කාලයේ වරින් වර අත්දැකි සිදුවීමක්. ඒ වගේ දෙයක් පදනම් කරගෙන යම්කිසි සේවාවක් අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කරනවා කියන එක අපිට අනුමත කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. සන්තෝෂ වෙනවා අධ්‍යාපන කේෂ්ත්‍රය ගැන අවධානය යොමුවීම ගැන රටේ ඉහළම තැන්වලින්. නමුත් අවධානය යොමුවිය යුත්තේ මේ ආකාරයට නෙමෙයි. අධ්‍යාපන කේෂ්ත්‍රයේ දැවැන්ත ගැටලු තියෙනවා. ඒවා විසඳලා මේක අත්‍යවශ්‍ය සේවාවක් කරනවා නම් හොඳයි කියන එක තමා අපේ මතය.”

    “උත්තර පත්‍ර ඇගයීමේ කටයුතුවලට සම්බන්ධ වෙන්න විශ්වවිද්‍යාල ආචාර්යවරු කිහිප වතාවක් ප්‍රකාශ කරලා තියෙනවා. අපි මේ කාර්යයෙන් තාවකාලිකව ඈත් වුණේ, යම්කිසි සහනයක් බලාපොරොත්තුව මේ බදු ප්‍රශ්නයට. ඉතින් තාවකාලික සහනයක් හෝ ලැබෙයි කියන බලාපොරොත්තුව අපි තුළ තියෙනවා. යම් යම් සාධනීය ලකුණු ඒ පිළිබඳව මතුවෙමින් පවතිනවා. විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය විධායක කමිටුව තමා සියලු තීරණ ගන්නේ. මෙහෙ ඉන්න නිලධාරීන් නෙමෙයි. විධායක කමිටුවේ අපි රැස්වෙලා ඉදිරි දින කිහිපය තුළ අපිට පුළුවන් උපරිම දෙයක් කරන්න අපි සුදානමින් ඉන්නවා.”

  • තවත් ගාස්තු ඉහළ දැමීමක්

    තවත් ගාස්තු ඉහළ දැමීමක්

    සටහන – රෂිකා හෙන්නායක

    කොළඹ (LNW): පුපුරණ ද්‍රව්‍ය ආශ්‍රිත ව්‍යාපාර පවත්වාගෙන යාම සඳහා ලබාදෙන බලපත්‍ර ගාස්තු ඉහළ දැමීමට රජය පියවර ගෙන ඇති අතර , ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊට අදාළ ගැසට් නිවේදනය ද නිකුත් කර ඇති බව වාර්තා වේ.

    ගල් වෙඩි බෙහෙත් නිෂ්පාදනය සඳහා පමණක් රුපියල් 2,000ක්ව පැවති බලපත්‍ර ගාස්තුව රුපියල් 4,000 දක්වා ඉහළ නංවා ඇති අතර ආරක්ෂිත සේවා නූල් නිෂ්පාදනය සඳහා පමණක් රුපියල් 4,000ක්ව පැවති බලපත්‍ර ගාස්තුව රුපියල් 7,000 දක්වා ඉහළ නංවා ඇත.

    ගල් වෙඩි බෙහෙත් සහ ආරක්ෂිත සේවා නූල් යන දෙවර්ගයම නිෂ්පාදනය සඳහා වන බලපත්‍ර ගාස්තුව රුපියල් 7,000 සිට 10,000 දක්වා ඉහළ නංවා ඇති බව පැවසේ.

    තවද පුපුරණ ද්‍රව්‍ය ආනයනයකරුවන්ගේ ව්‍යාපාර සඳහා වන බලපත්‍ර ගාස්තුව ද පුපුරණ ද්‍රව්‍ය සපයන්නන්ගේ ව්‍යාපාර සඳහා වන බලපත්‍ර ගාස්තුව ද ඉහළ නංවා ඇති අතර , පුපුරණ ද්‍රව්‍ය අත්කර ගැනීම සන්තකයේ තබා ගැනීම සහ පාවිච්චි කිරීම සඳහා වන අවසර පත්‍ර ගාස්තුව ද රුපියල් 2,000 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන ඇත.

  • සංචාරකයින් හාරලක්ෂයේ ඉලක්කය

    සංචාරකයින් හාරලක්ෂයේ ඉලක්කය

    සටහන – රෂිකා හෙන්නායක

    කොළඹ (LNW): සංචාරකයින් හාරලක්ෂයක් පැමිණීමේ ඉලක්කය එලබෙන 20 වනදා වනවිට සම්පූර්ණ කර ගැනීමට හැකි වනු ඇතැයි විශ්වාස කරන බව සංචාරක සංවර්ධන මණ්ඩලයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළ අතර , මේ මාසයේ ගත වූ කාලය තුළ සංචාරකයින් 55,000ක් පමණ පැමිණ ඇති බව ඔහු පවසයි .

    “සංචාරයින් පැමිණීමේ වැඩිවීමක් පෙන්නුම්කරනවා. 16 වනදා වෙද්දි මේ මාසයට විතරක් සංචාරකයින් 55,000ක් පමණ ඇවිල්ලා තිබුණා. ඒ අනුව ගත්විට හාරලක්ෂයකට කිට්ටු වෙන්න සංචාරකයින් ප්‍රමාණයක් ඇවිල්ල තියෙනවා. අපි බොහෝදුරට බලාපොරොත්තු වෙනවා 20 වනදා වෙනකොට සංචාරකයින් හාරලක්ෂයක් පැමිණීමේ ඉලක්කය ඉක්මවයි කියලා. මේ මාසය ගත්විට වැඩියෙන්නම සංචාරකයින් පැමිණිලා තියෙන්නේ ඉන්දියාවෙන්. ඊට පස්සේ රුසියාවෙන්. හැබැයි ජනවාරි සිට අද වෙනතුරු ගත් විට රුසියාවෙන් තමයි වැඩිපුර ප්‍රමණයක් ඇවිත් තියෙන්නේ. ඊළඟට ඉන්දියාවෙන්. අපි චීනයෙන් බලාපොරොත්තු වුණ තරමට සංචාරකයින්ගේ ප්‍රමාණය වැඩි වෙලා නැහැ. අපි බලාපොරොත්තු වෙනවා එන මාසයේ වගේ චීනයෙන් එන සංචාරකයින්ගේ ප්‍රමාණය වැඩිවෙයි කියලා.”