Category: විශේෂ පුවත්

  • විෂයන් 12කට අදාළව විභාග පරීක්ෂක අයදුම්පත් කැඳවයි

    විෂයන් 12කට අදාළව විභාග පරීක්ෂක අයදුම්පත් කැඳවයි

    සටහන – රෂිකා හෙන්නායක

    කොළඹ (LNW): උසස් පෙළ විභාගයේ විෂයන් 12කට අදාළව පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සඳහා විභාග පරීක්ෂකවරුන් බඳවා ගැනීම වෙනුවෙන් යළි අයදුම්පත් කැඳවීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

    විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ගණිතය, කෘෂි විද්‍යාව, ජීව විද්‍යාව, සංයුක්ත ගණිතය, සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය, ව්‍යාපාර අධ්‍යයනය, ඉංජිනේරු තාක්ෂණවේදය, ජෛව පද්ධති තාක්ෂණවේදය, තාක්ෂණවේදය හා විද්‍යාව සහ ඉංග්‍රීසි යන විෂයන්වලට අදාළව මෙම අයදුම්පත් කැඳවීම සිදුකර ඇති බවත් මෙතෙක් පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සඳහා අයදුම් නොකළ ගුරුවරුන්ට මෙන්ම 2022 වසරේ දෙසැම්බර් මස 31 දිනට පසු විශ්‍රාම ගිය ගුරුවරුන්ට ද අද සිට මැයි මස 02 වැනිදා දක්වා මාර්ගත ක්‍රමය ඔස්සේ පිළිතුරු පත්‍ර පරීක්ෂාව සඳහා අයදුම් කිරීමේ හැකියාව පවතින බවයි.

  • 2022 වාර්ෂික වාර්තාව ජනාධිපතිවරයාට පිළිගන්වයි.

    2022 වාර්ෂික වාර්තාව ජනාධිපතිවරයාට පිළිගන්වයි.

    සටහන – රෂිකා හෙන්නායක

    කොළඹ (LNW): ශ්‍රී ලංකා මහ බැංකුවේ 2022 වර්ෂයට අදාළ වාර්ෂික වාර්තාව,මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත , මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් අද (27) මුදල් අමාත්‍යාංශයේදී පිළිගන්වා තිබේ.

    ශ්‍රී ලංකා මහ බැංකුවේ 73 වන වාර්ෂික වාර්තාව ලෙස පිළිගන්වනු ලැබූ මෙය ප්‍රධාන කොටස් 04කින් සමන්විත අතර, වර්ෂයේ ආර්ථික කටයුතුවල තත්ත්වය පැහැදිලි කරන පරිච්ඡේද 08කින් හා සංඛ්‍යා පරිශිෂ්ඨ 30 කින් පළමු කොටස සමන්විත අතර දෙවන කොටස රජය හා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගන්නා ලද විවිධ වූ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවලට අදාළ ගැසට් හා චක්‍රලේඛ එකතුවකින් සමන්විත වෙයි.

    මෙම වාර්තාවේ තෙවන කොටස ශ්‍රී ලංකා මහ බැංකුවේ දෙපාර්තමේන්තු හා ඒවාට අදාළ කාර්යභාරයන් පැහැදිලි කරන අතර රජය හා ශ්‍රී ලංකා මහ බැංකුවට අදාළ බැංකු පද්ධතිය හා සම්බන්ධ නීති හා අණපනත්වල ලේඛනයක් සිව්වන කොටසට ඇතුළත්වන අතර , මුදල් නීති පනතේ 35 වන වගන්තිය අනුව සෑම වර්ෂයකම එම වර්ෂයට අදාළ ආර්ථික තත්ත්වයන් සහ ගන්නා ලද ප්‍රතිපත්ති පිළිබඳ වාර්තාවක් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් සකස් කොට, අදාළ වර්ෂය අවසන් වී මාස 04ක් ඇතුළත මුදල් අමාත්‍යවරයා වෙත පිළිගැන්විය යුතුය .

    https://www.cbsl.gov.lk/si/%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%B1/%E0%B6%86%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B7%92%E0%B6%9A-%E0%B7%83%E0%B7%84-%E0%B6%B8%E0%B7%96%E0%B6%BD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA-%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F/%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%9A-%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F/%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%9A-%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80-2022

  • වසන්ත කරන්නාගොඩට ඇමරිකාවට ඇතුළු වීම තහනම් කෙරේ !

    වසන්ත කරන්නාගොඩට ඇමරිකාවට ඇතුළු වීම තහනම් කෙරේ !

    වයඹ පළාත් ආණ්ඩුකාර, හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාට ඇමරිකා එක්සත් ජනපදයට ඇතුළුවීම තහනම් කිරීමට එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

    පසුගිය යුද ගැටුම් පැවති සමයේ නාවික හමුදාපතිවරයාව කටයුතු කරමින් සිටියදී මානව හිමිකම් කඩකිරීම පිළිබඳ එල්ල වී ඇති චෝදනාවක් හේතුවෙන් මෙසේ ඒ මහතාට මෙම තහනම පනවා ඇති බවයි ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසන්නේ.

    වසන්ත කරන්නාගොඩ මහතාට මෙන්ම ඒ මහතාගේ බිරිඳ වන ශ්‍රීමතී අශෝකා කරන්නාගොඩ මහත්මියට ද ඇමරිකා එක්සත් ජනපදයට ඇතුළු වීම මෙසේ තහනම් කර ඇත.

    RN

  • ජපන් යෙන් මිලියන පන්සිය තුනක ව්‍යාපෘති ආධාරයක්

    ජපන් යෙන් මිලියන පන්සිය තුනක ව්‍යාපෘති ආධාරයක්

    සටහන – රෂිකා හෙන්නායක

    කොළඹ (LNW): ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිත ආයතනයෙන් ජපන් යෙන් මිලියන පන්සිය තුනක ව්‍යාපෘති ආධාරයක් ලබාදීමට අදාළ හුවමාරු පත්‍ර අත්සන් කිරීම අද සිදු කෙරුණු අතර ඒ වෛද්‍ය හෝ සායනික අපද්‍රව්‍ය කළමනාකරණය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය සඳහායි.

    ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ලේකම් කේ.එම්. මහින්ද සිරිවර්ධන මහතා සහ ජපාන රජයේ තානාපති මිසුකොෂි හිදෙයකි මහතා ජයිකා ආයතනය වෙනුවෙන් එහි ශ්‍රී ලංකා කාර්යාලයේ ප්‍රධාන නියෝජිත යමාඩා ටෙට්සුයා මහතා විසින් ඊට අත්සන් තැබීම සිදුවිය .

  • චෝදනාවන් ප්‍රතික්ෂේප කරනවා – ජූලි චන්ග්

    චෝදනාවන් ප්‍රතික්ෂේප කරනවා – ජූලි චන්ග්

    සටහන – රෂිකා හෙන්නායක

    කොළඹ (LNW): සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් , ග්‍රන්ථයක් එළිදැක්වීම හරහා මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සිදුකර ඇති චෝදනාවන් සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව මෙරට අමෙරිකානු තානාපතිනී ජූලි චන්ග් මහත්මිය පවසයි .

    එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් තානාපතිනිය පවසන්නේ “ප්‍රබන්ධ යැයි සැළකිය යුතු ග්‍රන්ථයක්” හරහා පදනම් විරහිත චෝදනා එල්ලකරමින් අසත්‍ය පතුරුවාහැරීම සම්බන්ධයෙන් තමන් කනගාටුවට පත්වන බවත් , අමෙරිකාව වසර 75ක ඉතිහාසය පුරා ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය, ස්වෛරීභාවය සහ සමෘද්ධිය වෙනුවෙන් කළ කැපකිරීම් මෙන්ම ඉදිරියටද පවතවාගෙන යන බව සිය ට්විටර් පණිවුඩයෙන් ඇය පවසා ඇත.

  • කාටොන් නගරයේ සිටි ශ්‍රී ලංකිකයින් 13 දෙනෙකු ඉවත් කෙරේ.

    කාටොන් නගරයේ සිටි ශ්‍රී ලංකිකයින් 13 දෙනෙකු ඉවත් කෙරේ.

    සටහන – රෂිකා හෙන්නායක

    කොළඹ (LNW): සුඩානයේ කාටොන් නගරයේ සිටි ශ්‍රී ලංකිකයින් 13 දෙනෙකු සෞදි රජයේ සහාය ඇතිව ඉවත්කර ගත් බවත් ඔවුන් සෞදියේ ජෙඩා නගරය වෙත රැගෙන ඒමට නියමිත බවත් විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

    තවත් ශ්‍රී ලංකිකයින් 12 දෙනෙකු මුදා ගැනීමට නියමිත බවද විදේශ කටයුතු අමාත්‍යංශය පැවසූ අතර තවදුරටත් සුඩානයේ තවදුරටත් රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් පිටතට ගෙන්වා ගැනීමට ඉන්දීය හා සෞදි රජයේ සහාය ඇතිව කටයුතු කරමින් සිටින බවයි.

    ආරක්ෂිතව ශ්‍රී ලාංකිකයින් සුඩානයෙන් පිටතට ගැනීම සඳහා , ඊජිප්තුවේ කයිරෝ නුවර තානාපති කාර්යාලය, කාටොන් නුවර කොන්සල් කාරය්ලාය හා සුඩාන බලධාරින් මෙන්ම කාටොන් නගරයේ පිහිටි ඉන්දීය තානාපති කාර්යාලය ද සමීපව කටයුතු කරමින් සිටී.

    සුඩානයේ වෙසෙන ලාංකිකයින්ගේ තොරතුරු තහවුරු කර ගැනීමට අවශ්‍ය නම් කයිරෝ හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ වෙබ් ලිපිනයෙන් හා දුරකතනයෙන් + 20 1272813000 හා සම්බන්ධ විය හැකියි.

    කාටොන් කොන්සල් ජෙනරල් කාර්යාලයේ දුරකතන අංකය – +24 9912394035

  • පෙළපොත් බෙදාහැරීම කඩිනම් කෙරේ.

    පෙළපොත් බෙදාහැරීම කඩිනම් කෙරේ.

    සටහන – රෂිකා හෙන්නායක

    කොළඹ (LNW): දැනට හිඟව පවතින සියලු පෙළ පොත් ලබන මාසය අවසානයට පෙර පාසල්වලට ලබාදීමට කටයුතු යොදා ඇති බව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව පවසන අතර , මේ වනවිට මුද්‍රණය අවසන් කළ පෙළ පොත් පාසල්වලට බෙදා හරිමින් ඇති බවය.

    මෙවර පෙළ පොත් මිලියන 33 ක් මුද්‍රණය කර ඇති අතර ඒ සඳහා වැයකර ඇති මුදල රුපියල් මිලියන 16000 කි.

    බස්නාහිර පළාතේ පාසල් සඳහා දෙපාර්තමේන්තුව හරහා සෘජුවම පොත් බෙදා හරිනු ඇති අතර , පාසල් සිසුන්ගේ විෂයන්ට අදාළ විවිධ ශ්‍රේණිවල හිඟව පවතින වැඩපොත් ද එලෙස බෙදා හරින පොත් අතරට ඇතුළත් ය.

  • පාසල් බෑග් සහ සපත්තු මිල පහළට

    පාසල් බෑග් සහ සපත්තු මිල පහළට

    සටහන – රෂිකා හෙන්නායක

    කොළඹ (LNW): මුදල් අමාත්‍යාංශයේදී ඊයේ (25 වැනිදා) සවස පැවැත්වූ මුදල් රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිටිය සමග පැවති සාකච්ඡාවකදී , පාසල් ළමයින්ගේ සපත්තු සහ බෑග් මිල මැයි මස 09 වැනිදායින් පසු රුපියල් 500ත් 1000ත් අතර මිලකින් අඩු කිරීමට එම නිෂ්පාදකයෝ එකගතාවය පළකර ඇති අතර , සාකච්ඡාව සඳහා පාසල් බෑග් නිෂ්පාදකයන් සහ සපත්තු නිෂ්පාදකයෝ රැසක් සහභාගිවී සිටියහ.

    මෙහිදී රාජ්‍ය ඇමැතිවරයා නිෂ්පාදකයන්ට කියා සිටියේ , ඩොලරයේ අගය අඩුවී තිබෙන බැවින් පාසල් බෑග් සහ සපත්තු නිෂ්පාදනවලට යොදා ගන්නා අමුද්‍රව්‍ය මිල අඩුවී තිබෙන බවත්, එහි වාසිය පාසල් ළමුන්ට ලබා දෙන ලෙසත්ය.

    ඒ අනුව නිෂ්පාදකයන් එකඟතාවය පළකර ඇත්තේ , මැයි 09 වැනිදායින් පසුව පාසල් බෑග් සහ සපත්තුවල මිල රුපියල් 500ත් 1000ත් අතර මිලකින් අඩුකිරීමටයි.

  • ස්ථාන මාරු 07 ක්

    ස්ථාන මාරු 07 ක්

    සටහන – රෂිකා හෙන්නායක

    කොළඹ (LNW): ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු 07 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුකර ඇති බව පොලීසිය පවසයි.

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පතිනායක මහතා පොලිස් මූලස්ථානයේ සිට මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙලෙස මාරුකර යවා ඇති අතර , ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අපරාධ හා රථවාහන තනතුර දක්වා මාරුකර ඇත.

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස් පී මැදවත්ත මහතා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහායක සේවා සහ වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට දකුණු පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මාරුකර ඇති අතර , ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩබ් කේ ජයලත් මහතා නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස පත්කර ඇති බව සඳහන් වේ.

  • උද්ධමන ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවතට

    උද්ධමන ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවතට

    සටහන – රෂිකා හෙන්නායක

    කොළඹ (LNW): ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් ලෝක බැංකුව විසින් නිකුත් කළ වාර්තාවට අනුව ආහාර උද්ධමනය වැඩිම රටවල් 10 ඇතුළත් ලැයිස්තුවෙන් මෙලෙස ශ්‍රී ලංකාව ඉවත් කර ඇති බව වාර්තා වන අතර , උද්ධමනය ඉහළ ගිය පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාව ආහාර උද්ධමනය වැඩිම රටවල් අතර 05 වන ස්ථානයේ පසුවිය.

    ලෝක බැංකුවේ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ නවතම වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ ආහාර උද්ධමනය 47.6%ක් ලෙස දැක්වෙන අතර ප්‍රමුඛස්ථානයේ පසුවෙන්නේ ලෙබනන් රාජ්‍යයයි. එහි ආහාර උද්ධමනය 261%ක් වේ .

    සිම්බාබ්වේ රාජ්‍යයේ එම ප්‍රතිශතය 137%ක් වන අතර ලොව ආහාර උද්ධමනය වැඩිම රටවල් අතර දෙවන ස්ථානයේ සිම්බාබ්වේ පසුවන වාර්තා වේ.