Category: තීරු ලිපි

  • චින්න චින්න ආසෛ – 27ගාලු මුවදොර යොවුන් වසන්තය සහ දියමන්ති හොරු

    චින්න චින්න ආසෛ – 27ගාලු මුවදොර යොවුන් වසන්තය සහ දියමන්ති හොරු

    ඒ ගොල්ලෝ ගෝල්ෆේස් පිට්ටනියට ආවා. ඒක හරි ලස්සන දවසක්. මේ කියන කණ්ඩායමේ කොල්ලො තුන්දෙනකුයි කෙල්ලෙකුයි හිටියා. ඔවුන්ට ඉහළින් තිබ්බේ දුහුල් වළාකුළු පාවෙන නිදහස් අහසක්. ඒ ගොල්ලො යොවුන් වසන්තයෙන් ඔකඳ වෙලා හිටියේ. ඔවුන් එකිනෙකා කෙරෙහි බැඳී  ලස්සන මිතුදමකින් වෙළිලා, තැන තැන විසිරුණු මිනිස් පොකුරු අතරින්, රැහැන් මුදාගෙන ඉගිල්ලෙනවා වගේ හැඟීමකින් යුතුව ඇවිදගෙන යනකොට නන්දා මාලිනියගේ ගී හඬ අපට ඇහෙන්න පටන් ගත්තා. ඒ පිටුපස සුනිල් ආරියරත්නයනුත් හිටියා. මේ සියල්ල මෙහෙම සිදුවෙනකොට එක්තරා බලපුළුවන්කාර පවුලක ලොක්කෙක් අතින් අතිවිශාල සොරකමක් වෙලා තිබුණා.

    පෝලිම් යුගයක ගෝල්ෆේස් ආව ඒ කණ්ඩායමේ නායකයා උපාධිධාරියෙක්. විජේ. උපාධි සහතිකේට ගැලපෙන රස්සාවක් නැති තැන සහතිකේ කුණු කූඩෙට දාල පාරට බැහැපු කඩවසම් කොල්ලෙක්. අනිත් දෙන්නා අහම්බෙන් හම්බවෙච්ච යාළුවො. ගුණේ සහ ධර්මේ. අයි ආර් සී ලේබල් එක වැදිලා හිරෙන් නිදහස් වෙච්ච් හොඳ පපුවවල් දෙකක්. කෙල්ල යමක් තියෙන පවුලක ලස්සන කෙල්ලෙක්. චිත්‍රා. ඒ හතරදෙනා අතර තිබ්බේ මිනිස් ආදරයක්. දැඩි සහෝදරත්වයක්. ඒක කොහොමටවත් අරාබි වසන්තයක් නම් නෙමෙයි, ලස්සන පුංචි දූපතක ඇත්තම යොවුන් වසන්තයක්. ඒ නිසයි ඒ සිනමාත්මක වසන්තය කවදාවත් අපේ හදවත්වලින් මකා දමන්න බැරි.

    මේ කියන දවසේ පෝට් සිටිය තිබ්බෙ නැහැ. චීනය යනු එවකට නොබැඳි ශ්‍රී ලංකාවේ ළබැඳි මිතුරෙක් විතරයි. මේ රට එවකට පාලනය කළේ සිරිමාවෝ බණ්ඩාරනායක. හැත්තෑ එකේ අරගලය ඉවරවෙලා අවුරුදු පහකට පස්සේ දවසක් මේ. එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක ප්‍රතාපවත් ලීලාවෙන් ඉන්දු සයුර දිහා බලාගෙන ඉන්නකොට විජේතිලකයි ගුණෙයි ධර්මෙයි එක්ක චිත්‍රා හිටියේ සැහැල්ලු මනසකින්. අනාගත ලංකාව ඒ සැහැල්ලුව අහිමි කරගන්නා නරකාදියක් වෙයි කියල ඒ ගොල්ලෝ හීනෙකින්වත් හිතන්න නැතුව ඇති. ජීවිතයේ මොනතරම් ප්‍රශ්න තිබ්බත්, ඒ අතර වැඩිමලා වුණු ගුණේ, සිගරැට්ටුවක් පත්තු කරගෙන අනෙක් තුන්දෙනා නිරන්තරේ සිනා සිසී පෝනියන් පිට යන හැටි බලාගෙන හිටියෙ ඒ නිසා වෙන්න ඇති.

    හසරැලි ගවසා තුරු මුදුනේ කල්පනා තෝතැන්නේ ඒ ගොල්ලෝ විනෝද වෙනකොට සුනිලුන්ගේ පද පෙළ නන්දා මාලිනිය ගැයුවේ ඩී ආර් පීරිස් සූරීන්ගේ මියුරු තනුවකට. විජේතිලක හෙවත් විජේගේ චරිතය රඟපෑවේ විජය කුමාරතුංග. ගුණේ, සෝමසිරි දෙහිපිටිය. ධර්මේ, විමල් කුමාර ද කොස්තා. මාලිනී ෆොන්සේකා තමයි චිත්‍රා සපරමාදු. සොරකම් කරලා තිබුණේ චිත්‍රාගේ මාලයක්. එවකට රුපියල් ලක්ෂ ගණනක් වටිනා දියමන්ති මාලයක්. සොරකම ඇගේ මහප්පා සපරමාදුගේම සැලැස්මක්. ඇත්තම කියනවා නම් මේ සියල්ල වසන්ත ඔබේසේකරගේ සැලැස්මක්. ඔහුම ලියා ඔහුම නිෂ්පාදනය කරමින් ඔහු විසින්ම අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටය `දියමන්ති`. පසුකලෙක රූපවාහිනියෙන් දුටු දියමන්ති චිත්‍රපටයේ ඔය කියු ගීත ජවනිකාවේ රූප රාමු ලියුම්කරුගේ හිතේ සිනමාගාරයක නිතර ධාවනය වෙනවා.

    ගෝල්ෆේස් එක්ක යාවෙන්නේ සිනමා මතක විතරක් නෙමෙයි. එක්දහස් නවසිය හැත්තෑ පහේ දවසක, කැළුම්, බෙනී එක්ක ගෝල්ෆේස් එකේ ඉඳගෙන ඉන්නකොට දේදුණුත් නිලූෂිලා ප්‍රින්සිලා දිස්නලා එක්ක ගෝල්ෆේස් ආවා. දේදුණු ආඩම්බරෙන් අහක බලාගෙන ඉන්නකොට කැළුම් අව් කන්නාඩිය පහත් කරලා ඈ සොයමින් – ඈ දෙස බලමින් හිතනවා මෙහෙම. “දෙයියනේ ඇවිල්ලා ! කුමාරියක් වගේ !!“ එදාම තමයි දේදුණුට පල් පාට් එකක් දාන්න ආව රෙජී කියන මැරයට දේදුණු තරු විසිවෙන්න කම්මුල් පාරක් දෙන්නේ. පත්තරේ සිත්තර. කතාව ‘ඉතිං ඊට පස්සේ’. නිර්මාණය කළේ බලන්ගොඩ සරත්මධු. එදා ඒ ගෝල්ෆේස් චිත්‍රකතා කොටු අතරේ නිදැල්ලේ ඇවිද යන තරුණයෙක්ගෙ ටී ෂර්ට් එකක සරත්මධු තමන්ගෙම වීර චරිතයක් වෙච්ච යුනිකෝව සිතුවම් කරලා තිබුණා. යුනිකෝ අයුක්තියට එරෙහි වෙච්ච වීරයෙක්.

    ඉතින් මේ සිනමා – සිතුවම් නිමැවුම්වලින් දශක හතරහමාරකට පස්සේ ගාලු මුවදොර හාත්පස අයුක්තියට එරෙහිව නැගිටින වීරවර වීරවරියන්ගෙන් පිරී ගිහින්. ෂන්ග්රිලා පාමුල බණ්ඩාරනායක ලිලිපුට්ටෙක් වෙලා ඉන්නකොට මුග්ධ ගලිවර්ලට විරුද්ධව ප්‍රඥාවන්ත ලිලිපුට්ටො නැගිටලා. තමන්ට පල් පාට් දාපු විවිධ පන්නයේ `රෙජී`ලා සහිත රෙජීම් එකකටම එරෙහිව දේදුණු – කැළුම්ලාගේ මුණුපුරු මිණිපිරියන්ගේ පරම්පරාව, තරු විසිවෙන දේශපාලන කනේ පහරක් ගහමින් සිටින මොහොතක් මේක. අව් කණ්ණාඩි දැමූ නොදැමූ ජනකායක් අව්වැසි නොතකා සාමකාමී සටනකට ඇවිත්. විජේලා වගේ තරුණයෝ ගුණේලා ධර්මෙලා වගේ හොඳ පපු තියෙන පීඩිතයෝ වගේම චිත්‍රලා වගේ යමක් කමක් තියෙන මිනිස්සුත් ජාති ආගම් භේද නැතුව එක හඬින් ජීවිතය ඉල්ලනවා. දිළිසෙන කඳුළේ කිරණින් නෑවී නෑවී වුවත් සිඟිති ආදර දූපතක් බවට ගාලු මුවදොර පත්වෙලා.

    https://youtu.be/aV9nKpl6E5c

    අරගලය තරු අහුරක් වගේ දිවා රෑ ඇවිලෙනවා. අහස් ගඟේ දියඹ දිගේ අලුත් තරු පායනවා. මේ වසන්තය දකින්න වසන්ත ඔබේසේකර විතරක් නෙමෙයි ධර්මසේන පතිරාජත් ඉන්න තිබුණා. `අහස් ගව්ව`ට යනකම්ම `බඹරු ඇවිත්`. `සොල්දාදු උන්නැහේලා` පවා හදවතින් ජන සටන එක්ක බැඳෙමින් ඉන්නේ. මේ රටේ `ජනතාව` කිසිදෙයක් නොතේරෙන පොඩි ළමයෙක් නෙමෙයි `එයා දැන් ලොකු ළමයෙක්` කියල එයාම ඔප්පු කරලා තියෙනවා. එයාව සතුරන්ගෙන් ආරක්ෂා කරගනිමින්, එයාට අතීත පාඩම් කියාදෙමින්, එයාගෙනුත් පාඩම් ඉගෙන ගනිමින්, එයාව අයාලේ නොයවා අනාගතයට එක්කගෙන යන්න ඕන. එයා ඉල්ලන අලුත් ලෝකය තනාදෙන්න හැමෝම එකා වගේ පෙරට එන්න ඕන. එයාට ශක්තිය දෙමින් `වාසුළි` මැදින් වුව සතර දෙසින් `පාර දිගේ` ඇවිද එන්න ඕන. එයා ඉල්ලන්නේ වෙන මොනවත් නෙමෙයි, ආදරේ !  

    විමල් කැටිපෙආරච්චි  |  2022 අප්‍රේල් 15 

    පෙර ලිපි​ය 

    http://139.59.240.222/04/04/12620/
  • ඇහෙනවද ආදරේ සද්දේ ? – තාරක ලියයි 

    ඇහෙනවද ආදරේ සද්දේ ? – තාරක ලියයි 

    ජනතාවගේ ශබ්දය ඇහෙනවද ? අපි ඒ ප්‍රශ්නය අහන්නේ ආණ්ඩුවෙන් විතරක් නෙමෙයි විපක්ෂයේ සහ ස්වාධීනව ඉන්නවා කියන පක්ෂවලිනුත් එක්කයි. පාර්ලිමේන්තුව දිහා බැලුවම පේන්නේ නම් එකෙකුටවත් ඒ ශබ්දය නොඇසෙන බවයි.

    ජීවන බර දරාගත නොහැකි වීමේ පීඩාව තමයි ජන උද්ඝෝෂණ ලෙස පුපුරා යන්න පටන් ගත්තේ. කවුරු ලකුණු දාගන්න හැදුවත් මේ අරගලය පටන් ගත්තේ ජනතාව. දේශපාලන පක්ෂ දැන් ඒ උද්ඝෝෂණය පස්සෙන් දුවමින් ඉන්නේ.

    ඒ දිවිල්ල කළ යුතුම දෙයක්. මොකද, දේශපාලන අරමුණු නැතුව අදේශපාලනික අරමුණු එක්ක ජනතාව ඉස්සරහට ගියොත් මොනවයින් මොනවා වෙලා නවතියිද දන්නෙ නැහැ. ළිඳට වැටිච්ච එකා ළිං කටින්ම ගොඩ එන්න ඕන නිසා දේශපාලන ප්‍රශ්නෙට තියෙන්නේ දේශපාලන උත්තරයක්ම තමයි.

    මේ උද්ඝෝෂණ වටයයි දේශපාලන පක්ෂ පටන් ගත්ත උද්ඝෝෂණ වටයයි දෙකක්. හැබැයි දැන් ඒක මුහු වෙලා තියෙන්නේ. දේශපාලන පක්ෂ තමන්ගේම වේගයකින් කූට ප්‍රාප්තිය කරා යන්න හිටියේ. එහෙම වුනා නම් ව්‍යවස්ථා අර්බුදයක් පැන නගින්නේ නැහැ.

    හැබැයි ජන උද්ඝෝෂණවල වේගය වෙනස්. ඒක තීරණය වෙන්නේ බඩගින්න මත. ඒක තීරණය වෙන්නේ බඩු මිළ මත. භාණ්ඩ හිඟද නැද්ද කියන කාරණාව මත. ජනතාව මෙච්චර දුක් විඳිනකොට පාලකයෝ ආතල් ගන්නවද නැද්ද කියන කරුණ මත. ඒ වේගය හැදෙන්නේ පීඩනයේ ආවේගය මත.

    මෙච්චර කලක් මතු නොවුණු විදිහට ජනතාව නැගිටින්න තවත් ලොකු හේතුවක් තියෙනවා. ඒ තමයි මේ රටේ සාතිශය බහුතරයක් මිනිස්සු පාලකයා ගැන තිබ්බ අසීමිත බලාපොරොත්තුව. ප්‍රේමයම තමයි වෛරයට පෙරළිලා තියෙන්නේ. වෙනස කෙස් ගසකට සමයි.

    ඒක හරියට ජීවිතේට ද්‍රෝහී නොවෙයි කියල හිතපු පෙම්වතියක් හෝ පෙම්වතෙක් වෙනතක් බලාගන්නකොට, අනෙකාට දැනෙන ලැජ්ජාව කෝපය බලාපොරොත්තු විරහිත අතරමංවීම වගේ සියල්ල එක්කහු වෙච්ච වියරුවක්.

    ලෝකයේ හොඳම නායකයා කියල හිතාගෙන හිටපු – ඇත්තටම කියනවනං දේශපාලන සහ ඇඩ්වටයිසින් ගොබ්බයො ජනයාට බලෙන් එහෙම හිත්තවපු නායකයා, අන්තිම අසාර්ථක නායකයෙක් කියල ඇස් පනාපිට ඔප්පු වෙනකොට එන ලැජ්ජාව තමයි මේ පිටවෙන්නේ.

    කවදාවත් දාල නොයයි කියල හිතපු පෙම්වතා දාල ගියාට පස්සේ ගෙදර අය හෝ ගමේ අය තමන්ව ලජ්ජාවට පත්කරන්නට කලින් පෙම්වතිය පාරට බැහැල පෙම්වතාට පස් පඩන්ගුවේ බනිනවා වගේ තත්ත්වයක දේශපාලන වර්ෂන් එක මේ.

    දැන් පෙම්වතිය මේ ආවේගය කොහෙන් නතර කරයිද දන්නෙ නැහැ. අතට අහුවෙන පිහියක් වගේ ආයුධයක් අරගෙන පෙම්වතා හොයාගෙන යන්නත් බැරි නැහැ. පෙම්වතාත් අනෙක් අතට ආයුධයකින් උත්තර දෙන්න පුළුවන්. 

    ආත්මාරක්ෂාවට කියල පෙම්වතියට වෙඩි තියල දාන්නත් පුළුවන්. පෙම්වතිය අතින් අවැඩක් වුණොත් පෙම්වතිය හිරේ. එහෙමත් නැත්නම් පෙම්වතියගේ ජීවිතය අනතුරේ. මේ කෝක වුණත් වෙන්නේ පෙම්වතියගේ ජීවිතේ අමාරුවේ වැටෙන එක. 

    දැන් දෙමව්පියන් කරන්න ඕන පෙම්වතිය බේරගන්න එක. පෙම්වතාට විරුද්ධ වෙන්න ඕන. පෙම්වතා පෙම්වතියගේ කනේ කරේ විතරක් නෙමෙයි පෙම්වතියගේ ගෙදර අල්මාරියෙන් හොරකං කරගෙන ගිය රත්තරන් බඩු සහ දුක් විඳලා හම්බකරපු සල්ලි ආපහු ගන්නත් ඕන. 

    පෙම්වතාට විරුද්ධව ඒ සියලු අපරාධවලට නීතිය ක්‍රියාත්මක කරන්නත් ඕන. පෙම්වතා ආයෙමත් චාටු බස් කියාගෙන පෙම්වතියව රවට්ටගන්නත් ගොඩක් ඉඩ තියෙනව. මොකද මේ පෙම්වතිය හරිම හැඟීම්බර එක්කෙනෙක්. මේ අඬනවා මේ රැවටෙනවා. ඒ වැඩේ අයෙමත් සිදු නොවෙන්න දෙමව්පියෝ වගබලාගන්න ඕන. 

    ඒ විතරක් නෙමෙයි, එයාලත් දරුවගෙ ජීවිතේට වගකියන්න ඕන. දරුවට තේරෙන්න නිසි මග පෙන්වීම තේරෙන භාෂාවෙන් නොකරපු නිසා තමයි ඔය පෙම්වතාට රැවටුනේ. ඉතින් ඔය ඔක්කොම පාඩම් ඉගෙනගෙන ලේ හැලෙන්නේ නැතුව මේ ප්‍රශ්නය සාමකාමීව බේරගන්න ඕන. 

    දැන් අපි උපමාවෙන් උපමේයට එමු. සියලු දේශපාලන පක්ෂ ජනතාවට සවන් දෙනු ! ජනයාගේ සාධාරණ ආවේගය ඉවසනු !! එහෙත්, ජනයා වෙනත් අනතුරක වැටීම වහා වළකනු !!! 

    මේ ඇහෙන්නේ වෛරයට පෙරළුණු ආදරයේ ශබ්දය. ජනයාගේ හඬට සවන් දී පාලකයන් වේදිකාවෙන් බැසීම හැර වෙනත් විකල්පයක් නෑ. එයින් පසු ගොඩනැගිය යුත්තේ සැබෑ ශිෂ්ට සම්පන්න ජාතිවාදී ආගම්වාදී අගතීන්ගෙන් තොර පාලනයක් විය යුතුයි. නැත්නම් මේ ඔක්කොම වතුරේ.

    – තාරක 

  • වගකීම බාර අරං

    වගකීම බාර අරං

    අබිලිංගෙ කඩේ එකම ගෝසාව.මේ අව්අස්සෙ මොන ඇබැද්දියද්ද උනේ බලන්ඩ ගෑටුවා කඩේට.අපේ නිමලෙත් එතන.
    “මමයි බාරගන්නෙ.”
    නිමලෙ එහෙම කියද්දි මයික් විජේ ඉස්සරහට පැන්නා.
    “උඹ නෙමේ මම”
    මේ විදියට යකඩ මරං,අබිලිං,තිලකෙ,අබිලිංගෙ මායියා යනාදි වසයෙං එකෙකුට එකෙක් දෙවැනි නොවී බාරගන්ඩ ඉදිරිපත් වෙනවා.
    “බණ්ඩයියත් බාරගන්ඩ ඉදිරිපත් වෙනවද?”
    අබිලිං අහපි.
    “පාරෙ අයිතිකාරයෙක් නැති මැණික් මල්ලක්වත් වැටිලා තිබ්බද?”
    “එව්වා හම්බුවෙන්නෙ ආච්චිලාටනෙ.අපට කොහෙන්ද එහෙම වාසනාවක්”
    “දැං මොකද්ද ඔය බාරගන්ඩ පොරකන්නෙ.සිංහලෙං කියහල්ලකො”
    “එතුමා ජාතිය අමතලා කීවනෙ මේ අර්බුදයෙ වගකීම බාරගන්නෑ කියලා”.
    “ඉතින්?”
    “ඉතින් ඒ හින්දා තමයි අපේ එවුං වගකීම බාරගන්ඩ පොරකන්නෙ”
    කිරි අප්පට බල්ලො පැනපි කීවලු!මේ මොන අපබ්බුරංසයක් ද?
    “ඈ බං නිමලෙ උඹ අහවල් එකට ද ඒක බාරගන්ඩ යන්නෙ?”
    “අර්බුදේ නිර්මාණය වුණේ අපි හින්දා”
    “අපි හින්දා?ඒ කොහොමද?”
    “අපි පෙර කරුම පල දීලනෙ හිඟා නොකා හිඟා කන්නෙ.ඒ උත්තමයො පෙර පිං බලෙන් තමයි සැප සම්පත් ලබලා තියෙන්නෙ.අර්බුදේ එන්නෙ අපි වගේ හිඟන හැත්තට කන්ඩ දෙන්ඩ,ලයිට් දෙන්ඩ,ගෑස් දෙන්ඩ,සැමන් පරිප්පු දෙන්ඩ ගියාමනෙ.”
    දෙයියෝ සාක්කි!නිමලෙ ගිය දුරක්.!
    මයික් විජේගෙ මායියත් කට ඇරියා.
    “එතුමා රට බේරා ගත්තා.දත්මිටි කකා හරි අපට මෙහෙම ඉන්න පුලුවන් වෙලා තියෙන්නෙ එතුමා හන්දා.එතුමා ආවෙ අර්බුදේ නැති කොරලා.අපි හින්දා තමයි අර්බුදේ ඇති වුණේ.ඒකයි මං ඒක බාරගන්ඩ ඉල්ලන්නෙ”
    ඔය ඔය විදියට හැම එකාම වගකීම ගන්ඩ පොර කනවා.එකෙකුකට එකෙක් දෙවැනි නෑ.
    “මේක හරියන් නෑ අබිලිං.අපි එක්කෙනෙක් තෝරා ගමු.නැහ්නං ඌක්ක්රේන් යුද්දෙ මෙතන ඇවිලෙයි.”
    “කොහොමද තෝරන්නෙ?”
    “මුන්දලා ටික මේ පාරෙන් දුවගෙන ගිහිං අර පාරෙං එන්ඩ කියමු.මුලින් ම ආපු කෙනාට වගකීම බාර දෙමු.”
    වැඩේට කවුරුත් එකඟ වුණා.පේළියක් හැදුණා.අබිලිං රචින්නයක් පත්තු කොළා.ඔක්කොම දුවන්ඩ පටං ගත්තා.
    අබිලිනුයි මමයි මිදුලෙ ඉරක් ඇන්දා.
    බලාගෙන හිටියා හිටියා.කවුරුවත් ආවෙ නෑ….
    ඩිංගක් වෙලා යද්දි නිමලෙගෙ බල්ලා දුව ගෙන ආවා.
    “මූටවත් බාර දෙමුද වගකීම.?”
    අබිලිං ඇහුවා.
    සෑහෙන වෙලාවකට පස්සෙ නිමලෙ,යකඩ මරංගෙ කරට අතදාගෙන වැනි වැනි ආවා.වගකීම ගන්ඩ කලිං දෙකක් දාගෙන.අනෙක් උන්දලා ගෙවල්ඔලට ගෙහුං.
    “මොකද නිමලෙ වගකීම අතෑරිය ද?”
    “මොන දිවිල්ලද්ද?පරිප්පු පන්සීයට නැගලා කියලා මායියා ඉලපොත අරං පාර හරහට පැන්නා.වගකීම එතුමට ම දීලා මං ගියා සීනි කරිඤ්ඤං පොළට.”
    අමුඩෙට පුක වගේ එතුමට ම හරි යන උන්දලානෙ අප්පා………..

  • අවරදිග ආවර්ජනා – වීරවංශ-ගම්මන්පිල: මේස් කුට්ටමක් සහ දුර්ගන්ධයක්

    අවරදිග ආවර්ජනා – වීරවංශ-ගම්මන්පිල: මේස් කුට්ටමක් සහ දුර්ගන්ධයක්

    අප අද සිටින්නේ, ඉතිහාසය විසින් වර්තමානය නිර්දය අන්දමින් නිරුවත් කරන සහ ලැජ්ජාවට පත්කරවන යුගයකයි. සමාජයක් මුහුණදෙන ප්‍රශ්න ඉදිරියේ විවිධ මත සහ වෙනස් කඳවුරු අතර නොගැළපීම් හටගනී. එය ස්වභාවික දෙයකි. මිනිසුන්ගේ සිතුම් පැතුම් සහ කල්පනා එක සමාන නොවීම ඊට හේතුවයි. එසේ තිබියදී, බොහෝ කාරණා සම්බන්ධයෙන් මිනිසුන් අතරේ අද පවතින ප්‍රතිවිරෝධතා චිරාත් කාලයකට ඉදිරියට යන්නේ, අදාළ කාරණය පිළිබඳ (සාපේක්ෂ) වැරදි මතය සහ (සාපේක්ෂ) නිවැරදි මතය පිළිබඳ නිශ්චිත විනිශ්චයක් ඉතිරි නොකරමිනි.

    උදාහරණයක් වශයෙන්, යුද්ධය පිළිබඳ කාරණය ගන්න: එය, ලංකාවේ වේවා, යුක්රේනයේ වේවා, තිරශ්චීන සහ අමානුෂික දෙයකැයි බොහෝ දෙනා කටපාඩමින් කියනු ඇත. එහෙත් ඒ බොහෝ දෙනාගෙන් බොහෝ දෙනා, විවිධ කොන්දේසි යටතේ අවසානයේදී යුද්ධයට පක්ෂපාතී වෙති. හරියටම කිවහොත්, යුද්ධයේ සිටින බලවතාගේ පැත්තේ සිටගනී. එසේ සිටියදීත්, යුද්ධය තිරශ්චීන දෙයකැයි ඔවුන් ලෝකයාට ඇසෙන්නට හයියෙන් කියන්නේම, අවසානයේදී බලවතාට පක්ෂපාතී වීමේ අවසරයක් තමන්ට උපයාගැනීමටමයි. (සත්ව පැවැත්ම තුළ බලවතාගේ ප්‍රචණ්ඩත්වය අඩුවැඩි වශයෙන් නෛසර්ගික වන බව බැහැර නොකරමි. එහෙත්, ශිෂ්ටාචාරය යනු, ඒ ප්‍රචණ්ඩත්වය උත්සන්න කිරීමේ නොව, මැඩලීමේ මෙවලමක් විය යුතු බව තදින්ම හඟිමි). එබැවින් සමාජ කතිකාව තුළ සාමවාදියා පරාජය වී, යුධවාදියා බොහෝවිට ජයග්‍රාහී වන බවක් දක්නට ලැබේ. 2009 පටන් ලංකාවේ සමාජ කතිකාව තුළ, සාමවාදී මතය පරාජය කොට අවසානයේ යුද මානසිකත්වය ජයගෙන ඇත්තේ ඒ ආකාරයෙනි. එය සැබෑ ‘ජයග්‍රහණයක්’ දැයි කිරාබලා දැනගැනීමට සමහරවිට තව පරම්පරාවක් දෙකක්වත් කල් යාවි. එතෙක්, (දකුණේ) අප වනාහී, සතුරා පරාජය කොට විජයග්‍රාහී වූ සමාජයක් වශයෙන් පවතිනු ඇත.

    එවැනි කාරණා යුගාන්තර ය. එනම්, එක පරම්පරාවකින් පමණක් පිරිසිඳ දැනගත නොහැකි බවයි. එහෙත්, ඊට සමාන තවත් කාරණා මේ ‘ආත්මයේදීම’ අවබෝධ වෙයි. මේ ලිපිය පටන්ගන්නා මුල් වාක්‍යයෙන් අදහස් කළ ප්‍රස්තුත කාරණය එයයි. එක කාරණයක් නොව, කාරණා රාශියක්, එකට බැඳී, දීර්ඝ අවබෝධ මාලාවක් සේ අපේ ඔළුගෙඩිවල එළිය විහිදුවීමට පටන්ගන්නා කාලයකි මෙය.
    ආරම්භයක් වශයෙන්, කාදිනල් මැල්කම් රංජිත් පියතුමාගේ ගත වූ කෙටිකාලීන සමාජ ක්‍රියාකාරී ඉතිහාසය සැලකිල්ලට ගන්න: එතුමා රාජපක්ෂවරුන් වෙනුවෙන් පමණක් නොව, සිංහල-බෞද්ධ සංස්කෘතිය වෙනුවෙන්ද පෙනී සිටියේ මේ ඊයේ පෙරෙයිදා ය. කතෝලික පල්ලිය නියෝජනය කරන අතරේම, මේ රටේ තිබෙන සිංහල-බෞද්ධ අධිකාරීත්වය, කිතුණුවන් පවා පිළිගත යුතු බව උන්වහන්සේ රටටම දේශනා කොට සිටියෝය. එතුමන් එතැනින් නැවතුණේ නැත. මානව හිමිකම් යනු, ආගමක් අදහන මිනිසෙකුට අවශ්‍ය නොකරන, බටහිර විලාසිතා සංකල්පයක් බවත්, එය අපට බටහිරින් අටවා ඇති උගුලක් බවත් කියා සිටියෝය.

    එසේ තිබියදී, පාස්කු ප්‍රහාරය ඇති විය. යහපාලන ආණ්ඩුව ඊට වගකිව යුතු බවත්, අපරාධකරුවන් එම ආණ්ඩුව යටතේ නීතිය ඉදිරියට පැමිණවීමේ හැකියාවක් ඊට නැති බවත්, රාජපක්ෂලා බලයට පත්කිරීමෙන් ඒ අපරාධකරුවන්ට දඬුවම් පැමිණවිය හැකි බවත් උන්වහන්සේ තදින්ම විශ්වාස කළෝය. ගත වුණේ වසර දෙකකි. මෙය ලියන මොහොත වන විට උන්වහන්සේ සිටින්නේ ජිනීවා නුවර මානව හිමිකම් කොමසාරිස්වරිය හමුවී, ලංකාවේ කිතුණුවාගේ දුක පිළිබඳව ලංකාවේ බෞද්ධ ආණ්ඩුවට විරුද්ධව ඇයට පැමිණිලි කරමිනි. එතුමන්ට මෙතරම් කෙටි කාලයක් තුළ, එතුමන් හැඳින්වූ බටහිර සංකල්පයේ සරණ යාමට සිදුවනු ඇතැයි සිතුවේ කවුද?

    ඉතා සරල පාඩම් උගෙනීමට මිනිසුන් මෙතරම් විශාල වශයෙන් වියදම් දරන්නේ මන්දැයි මට ප්‍රශ්නයකි. වියදමක් නොදරමින් උගත හැකි පාඩම් පවා උගෙනීමට, එතරම් විනාශයක් වන තෙක් කෙනෙකු සිටිය යුතුද? පාස්කු ප්‍රහාරය, ආගමික අන්තවාදී ක්‍රියාවක් වීමට අමතරව, දේශපාලනික කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක්ද වන බව උන්වහන්සේ දැන් උගෙන ඇත. කෙසේ වෙතත්, වියදමක් දරමින් හෝ උගත් පාඩම් මත පදනම්ව උන්වහන්සේ මේ අයුරින් දැන්වත් ක්‍රියාත්මක වීම අපේ ගෞරවයට හේතුවක් කරගැනීමට, උන්වහන්සේගේ ඉහත කී අතීත ක්‍රියාකාරීත්වය බාධාවක් කරගත යුතු යැයි අපි නොසිතමු.

    වීරවංශ-ගම්මන්පිල නව ප්‍රබන්ධය

    මීට වඩා සහසුද්දෙන් වෙනස් චරිත දෙකක් පසුගිය සතියේ ඉස්මතු විය. ඒ, විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ය. පසුගිය දශක හතරක පමණ කාලය තුළ, මේ රටේ ජාතීන් අතර වෛරය සහ අසමගිය ඇති කිරීමටත්, ඊනියා දේශප්‍රේමයක නාමයෙන් විවිධ ප්‍රජාතන්ත්‍ර-විරෝධී සහ මානව-විරෝධී ක්‍රියාවල නියුක්ත වීමටත් දායක වූ (දුෂ්) චරිත අතරින් මොවුන් දෙන්නා කැපී පෙනේ. පසුගිය සතියේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට වාඩි වූ, පක්ෂ යැයි කියාගන්නා පුද්ගලයන් එකොළොස් දෙනා අතරින් මොවුන් දෙන්නා අවසානයේ රාජපක්ෂලාගේ උදහසට ලක් වී අමාත්‍ය ධුරවලින් පන්නා දැමුණි.
    ලංකාවේ දේශපාලනය තුළ තිබෙන එක් කාලකණ්ණි තත්වයක් වන්නේ, යම් පක්ෂයක අනුගාමිකයෙකු වශයෙන් සිට එම පක්ෂයෙන් ඉවත් වූ හෝ ඉවත් කළ සැණින් එම පුද්ගලයන්, අර පක්ෂයේ හතුරන්ගේ ඔඩොක්කු කුක්කන් බවට නිතැතින් පත්වීමයි.

    විපක්ෂයේ කිසි ව්‍යපාරයක් හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෙට වන විට මොවුන් භාරනොගත්තොත්, සරණාගතභාවය මිස වෙන කිසිවක් ඔවුන්ට උරුම වන්නට ඉඩක් නැත. මේස් කුට්ටමක පැවැත්ම ඇත්තේ සපත්තු කුට්ටමක් තුළ පමණි. සපත්තුවෙන් ගැලවුණොත් මේස් කුට්ටමෙන් වැඩක් නැත. ඊටත් වඩා, දුර්ගන්ධයත් වැඩියෙන් දැනෙනු ඇත. එබැවින්, මෙවැනි මිනිසුන් කොහේ හෝ එල්ලී සිටීමට බලනු ඇත.

    මෑතකාලීන ඉතිහාසය දෙස ආපසු හැරී බලන විට, රට අද පත්ව ඇති විපතට රාජපක්ෂලාට වඩා සාපරාධීව වගකිය යුතු වන්නේ මෙවැනි පුද්ගලයන් ය. එසේ වෙතත්, රාජපක්ෂලාට එරෙහිව ඉදිරියේදී පාවිච්චි කළ හැකි අවියක් වශයෙන් පාවිච්චියට ගත යුතු නිසා වර්තමාන විපක්ෂය හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් මොවුන්ව යම් ආකාරයකින් සෝදා පිරිපහදු කොට තමන් වෙතට අන්තර්ග්‍රහණය කරගත්තොත් අප පුදුම විය යුතු නැත. බලය ලබාගැනීමේ ආයාසය තුළ ඕනෑම පටු තැනකට ඇදවැටෙන්ට තරම් ලැජ්ජාවක් නැති දේශපාලනය අප අනන්තවත් අත්දැක ඇති බැවිනි.

    රාජපක්ෂලාගේ ඇමරිකානු පුරවැසිභාවය ගැන අද මොවුහූ මැසිවිලි කියති. රාජපක්ෂලාගේ පවුල් බලය චිරාත් කාලයක් පවත්වාගැනීමත්, බැසිල් රාජපක්ෂ නමැති ඇමරිකානුවෙකුට රටේ මර්මස්ථාන භාරදීමත් අරමුණු කරගෙන පමණක්ම 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආ බව එදා තේරුම් නොගැනීමට තරම් මොවුන් අඳබාල නම්, සැබෑ දේශප්‍රේමයකින් රටක් පාලනය කිරීමට ඔවුන් කොහෙත්ම සුදුස්සන් විය යුතු නැත. මාක්ස්වාදී ඉතිහාසයෙන් අද වන විට රැවුල පමණක් ඉතිරි කරගෙන සිටින වාසුදේව නානායක්කාර දැන් මෙයට පිළිතුරු බඳිනු ඇත. ඇයි, අපි ඒකට විරුද්ධව එදා කතා කෙළේ නැත්ද? එදා ඒ සංශෝධනයට විරුද්ධව ජීවිතයත් පරදුවට තබන්නට මෙන් කතා කළ විදුර වික්‍රමනායකත් එයම කියනු ඇත. මොවුන් දෙන්නාත්, (වාසුදේව-විදුර) 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය පතුරු ගසන වීරත්වයක් රටට පෙන්වා, අවසානයේ තමන්ගේ ඡන්දයත් එය සම්මත කරගැනීම සඳහා පාවිච්චි කළෝය. බැසිල් රාජපක්ෂ ඇමරිකානුවෙකු වන බවත්, ඇමරිකානුවන්ට ලංකාව පාවාදීමේ රහස් කොන්ත්‍රාත්තුවක් ඔහු විසින් දියත් කරමින් සිටින බවත් වීරවංශ-ගම්මන්පිල අද කීම, නැවතත් පෙන්නුම් කරන්නේ පරණ දේශප්‍රේමී ව්‍යාජය මතම තවමත් බැබළෙන්නට ඔවුන් දඟලන බවයි.

    බැසිල් රාජපක්ෂ පමණක් නොව, ගෝඨාභය රාජපක්ෂත් මේ රටේ ජනාධිපති තනතුරට පත්වන මොහොතේ ඇමරිකානුවෙකි. එහෙත්, මැතිවරණ කොමිසමේ සාමාජිකයන් ඇතුළු එදා විපක්ෂ දේශපාලනයේ කිසිවෙකුට එය ප්‍රශ්නයක් නොවුණු නිසා අද ගෝඨාභය රාජපක්ෂ ලංකාවේ ජනාධිපතිවරයා වශයෙන් පත්ව සිටී. බැසිල් රාජපක්ෂ චේතනාන්විතවම ලංකාව කඩා වට්ටා, එය ඇමරිකාවේ යටත් කොලනියක් කිරීමට රහස් සැලසුමක් ක්‍රියාත්මක කරන්නේය යන වීරවංශලාගේ වර්තමාන චෝදනාව සත්‍යයක් යැයි මොහොතකට පිළිගත්තත්, වීරවංශ-ගම්මන්පිල-වාසුදේව අශුද්ධ ත්‍රිත්වයේ ව්‍යාජ දේශප්‍රේමී විනාශය තරම්, ඒ මගින් රටට හානියක් සිදු කරනු ඇතැයි සිතිය නොහැකිය.

    විද්‍යාව නිර්දය ය. ව්‍යාජය සැපදායක ය. ඊයේ වන තෙත් සත්‍යයක් වශයෙන් මා විශ්වාස කළ දෙයක් බොරුවක් බව අද මට වැටහෙන්නේ නම්, එය අද සිට ප්‍රතික්ෂේප කිරීම අවංකභාවයකැයි සාමාන්‍යයෙන් සැලකෙයි. විද්‍යාවේ ක්‍රමවේදයත් එයයි. එහෙත්, එය සත්‍යයක් වශයෙන් හිසින් දරා සිටි කාලය පුරාමත්, එය බොරුවක් බවට ඇස්පනාපිට සාක්ෂි අනන්තවත් තිබියදීත්, අවසානයේ මට පෞද්ගලිකව එයින් අවැඩක් සිදුවෙතැයි හැඟෙන්නට වූ මොහොත වන තෙක් එය බොරුවක් යැයි නොකියා සිටීම, වංචාවක් වීමට අමතරව නිහීන අවස්ථාවාදයක්ද වෙයි. මොවුන් තිදෙනා අයත් වන්නේ එවැනි සත්ව කොට්ඨාශයකටයි. (අතුරලියේ රතන හිමියන් වැනි තවත් පිරිස් සිටිත්. ඔවුන්ගේ පිම්ම මීටත් වඩා සංදර්ශනාත්මක වනු ඇත).

    වගකීම බැසිල්ගේ විතරක්ද?

    සෑම මනුෂ්‍යයෙකුටම මියගිය පසුවත් දවසක් දෙකක් ‘ජීවත්වීමේ’ හැකියාව මෙතෙක් කල් තිබුණි. මිනියකට ඇති ඒ අයිතියත්, මොවුන් දෙන්නා සිටි ආණ්ඩුව විසින් දැන් උදුරාගෙන ඇත. ඩොලර් නැති කම නිසා, මිනී එම්බාම් කිරීමට පාවිච්චි කරන ෆෝමලින් නොමැති වීමෙන්, කෙනෙකු මැරුණු දවසේම අවසන් කටයුතු කිරීමට සිදුව ඇති බව මාධ්‍ය වාර්තා කොට තිබුණි. මොවුන් කියන්නේ, එතරම් හිඟන තත්වයකට මේ රට කඩාවැටීම බැසිල් රාජපක්ෂට බැර කොට, තමන්ට අත හෝදාගත හැකි බවද?

    විමල් වීරවංශ සහ ගම්මන්පිල යන දෙන්නාම, දූෂණය සහ සොරකම ගැන අධිකරණය ඉදිරියේ දැනටත් චූදිතයෝ ය. වීරවංශ තමන්ගේ පවුලේ අයට සහ නෑසියන්ට රජයේ ගෙවල්fදාරවල් බෙදා දී ඇති සැටි හෙළිදරව් විය. තමාගේත්, ඇඹෙනියගේත්, පාස්පෝට් සහ ජාතික හැඳුන්ම්පත්වලට පවා වංචා කොට ඇති සැටි වාර්තා විය. ගම්මන්පිල විදේශීය කාන්තාවකගේ ධනය සොරකම් කොට ඇති බවට නඩු පැවරී තිබුණි. එසේ තිබියදී, බැසිල් රාජපක්ෂගේ දූෂණ ගැන කතා කිරීමට මොවුන්ට අයිතියක් එන්නේ කොතැනින්ද?

    අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ වර්ග 367 ක් මෙරටට ගෙන්වීම සීමා කරන බවට අද (09) ගැසට්ටුවක් නිකුත් කොට ඇත. ඒ කියන්නේ? මාස ගානක් තිස්සේ දරුවන්ට කිරිපිටි ටික නැති කරන විට, ලෙඩ්ඩුන්ට පැනඩෝල් පෙත්ත නැති කරන විට, ලිපට ගෑස් ටික නැති කරන විට, ඩීසල් සහ පෙට්‍රල් නැති කරන විට සහ ඒ හේතුවෙන් දවසට පැය හත අටක් ඔබව අඳුරේ තබන විට, මේ ආණ්ඩුව අද දක්වාමත් ඇපල්, චොකලට්, චීස්, පෙයාර්ස්, මිදි සහ ස්ප්‍රෙඩ් බටර් ඇතුළු අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ 367 ක් මෙරටට ගෙන්වීමට ඉඩ හැර තිබේ.

    මහබැංකු අධිපති කබ්රාල් දීර්ඝ කාලයක් තිස්සේ ඩොලරයේ අගය රුපියල් 200 ක අගයක් තුළ බලහත්කාරයෙන් සිර කරගෙන සිටියේය. එහි ප්‍රතිඵලයක් වශයෙන් පසුගිය ජනවාරි මාසයේ පමණක් විදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකිකයන්ගෙන් ලංකාවට ලැබෙන විදේශ මුදල්, ඊට කලින් වසරේ ජනවාරිය සමග සසඳන විට, සියයට 62 කින් අඩු වී තිබුණි. සමස්තයක් වශයෙන්, මේ බලහත්කාරී විනිමය අනුපාතිකය නිසා පසුගිය කාලය මුළුල්ලේ රටට සිදු වූ පාඩුව ඩොලර් බිලියන 4 ක් වෙතැයි ගණන් බලා තිබේ. රුපියල හිර කරගෙන සිටි ඒ ග්‍රහණය ඊයේ සිට රුපියල් 230 දක්වා කබ්රාල් ලිහිල් කෙළේය. ඒ අවබෝධය ලැබීමට, ඒ සා විශාල අලාභයක් විඳින්නට සිදුවන තෙක් සිටියේ ඇයි? (මේ අලුත් අගය තුළ පවා රුපියල තබාගත නොහැකි බව, තව සති කිහිපයකින් ඔහු ‘අවබෝධ’ කරගනු ඇත).

    පසුගිය 4 වැනිදා මාධ්‍ය වාර්තා කළ පරිදි, සති තුනක් තිස්සේ නැංගුරම් ලා සිටි එක් ඉන්ධන නැවක් වෙනුවෙන් ඩොලර් මිලියන 32 ක් ගෙවා ගොඩබෑම ආරම්භ කර තිබේ. ඊට සති තුනකට කලින් ආණ්ඩුවට නොතිබුණු මුදලක් මේ කියන දවසේ අලුතෙන් සොයාගත්තා විය නොහැක. සිදුව ඇත්තේ, ඉන්ධන නැව වෙනුවෙන් වැය කළ යුතු ඒ සුළු මුදල පවා වෙන් නොකොට කල්මැරීමකි. නිස්කාරණේ නාස්ති වූ සති තුනක් සඳහා ප්‍රමාද ගාස්තුත් ගෙවීමට අමතරව, ඒ සති කිහිපය තුළ රටේ ඉන්ධන නැතිකමින් සමස්ත ආර්ථිකයට සිදු වූ පාඩුවත්, මහජනතාව ඒ කාලය තුළ මුහුණදුන් අටෝරාසියක් දුෂ්කරතාවන්ටත් වගකියන්නේ කවුද?

    කෝවිඩ් රෝගයෙන් මියගිය රෝගීන්ගේ මළ සිරුරු ඕනෑම සුසානභූමියක වැළලීමේ අවසරය ගිය සතියේ සිට ලබා දී ඇත. දැන් අවුරුදු දෙකක් තිස්සේ, විශේෂයෙන් මුස්ලිම් ජනතාවට බලපාන මේ ප්‍රශ්නයට මෙම විසඳුම නොදුන්නේ ඇයි? පසුගිය අවුරුදු දෙක තිස්සේ කෝවිඩ් මළ සිරුරක් වැළලීමෙන් සමාජයට ඇති විය හැකි යැයි කී ආපදාව දැන් තුරන් වී ඇත්තේ කෙසේද?
    පොහොර ප්‍රතිපත්තිය ඔබට මතක ඇති. මාස හයක් කල් ගත වී ඒ මෝඩ ප්‍රතිපත්තිය වෙනස් කිරීමට ආණ්ඩුව තීරණය කරන විට, එක කන්නයකදී රටට ඇති වී තිබිය හැකි මූල්‍යමය පාඩුව ඩොලර් බිලියන 1.4 ක් විය හැකි යැයි දැන් ගණන් බලා තිබේ.

    මේ සියලු උදාහරණ ගෙනහැරපෑවේ එක කාරණයක් අවධාරණය කිරීමටයි. එනම් මේ පාලකයන් සෑම පාඩමක්ම ඉගෙනගන්නේ, ඒ වෙනුවෙන් විශාල වන්දියක් (ඔවුන් නොව) මහජනතාව ලවා ගෙවීමෙන් අනතුරුව පමණක් බවයි. වීරවංශ-ගම්මන්පිල-වාසුදේව ත්‍රිත්වය ඊට වෙනස් නැත. ඉහත කී කිසි අවුලක් ගැන හෝ රාජපක්ෂ පවුල්වාදය ගැන හෝ මීට කලින් ඔවුන් වචනයක් කතා කොට නැත. සැබවින්ම ඔවුන්ට අද මුහුණදීමට සිදුව ඇත්තේ තමන්ගේ හුදු පැවැත්ම පිළිබඳ ප්‍රශ්නයකටයි. එනම්, මහින්ද රාජපක්ෂගෙන් කාලාන්තරයක් තිස්සේ ලැබුණු හුරතල් පිළිගැනීම, ගෝඨාභය රාජපක්ෂගෙන් හෝ බැසිල් රාජපක්ෂගෙන් ඔවුන්ට නොලැබී යාමයි.

    සාගින්නෙන් මියයන තත්වයක් තවම ඇතිව නැත. එහෙත් දරුවන් හතර දෙනා දවස් හතරක් තිස්සේ නිරාහාරව සිටි සැටි දරාගත නොහැකි පියෙකු ගෙල වැළලාගෙන මියගොස් ඇති බව ගිය සතියේ වාර්තා විය. දරිද්‍රතාව හේතුවෙන් සියදිවි නසාගත් පළමු අවස්ථාව මෙය නොවන බව ඇත්ත.
    එහෙත්, රටේ සමස්ත ආර්ථිකය තුළ අද ඇති වෙමින් තිබෙන මහා විපත මධ්‍යයේ මෙවැනි සිද්ධි බහුලව ඇති විය හැකි දිනය වැඩි ඈතක නොවන බවට අනුමාන කළ හැකිය. ඒ අරභයා රාජපක්ෂ ආණ්ඩුවට පැවරෙන සාපරාධී වගකීමට වඩා, වීරවංශ-ගම්මන්පිල-වාසුදේව ත්‍රිත්වයට පැවරෙන සාපරාධී වගකීම දශමයකින්වත් අඩු නැත.

    ගාමිණී වියන්ගොඩ

  • මරතෝණ්ඩිය රටා අඳී

    මරතෝණ්ඩිය රටා අඳී

    ගී ඇසුර 27

    නුවර කලාවියේ හැදී වැඩුණු මහින්ද චන්ද්‍රසේකර කොළඹ ආවෙ විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා. ඔහු 1975/79 කාලයේ කොළඹ සරසවියෙන් සිප්සතර ලැබ උපාධිය හිමිකරගෙන සරසවියෙන් නික්මුණත් කොළඹින් පිටමං වෙන්නට හිතුවෙ නැහැ. ඒකට බොහෝ හේතු කාරණා තිබුණා. උපාධිධාරියෙකු වුණත් රැකියාවක් නැතිකම නිසා ජීවත්වීම සඳහා මුදල් හොයා ගන්නට කුමක් හෝ කළ යුතු වුණා. ඔය කාලෙ තමා “මාර්ග ආයතනයෙ” සමාජ සමීක්‍ෂණ සඳහා උපාධිධාරීන් බඳවා ගන්නවාය කියන තොරතුර ලැබුණෙ. ඒ අනුව මහින්ද චන්ද්‍රසේකර ඇතුළු උපාධිධාරීන් 18 දෙනෙක් මේ සමීක්ෂණ කණ්ඩායමට එකතු වුණා.

    මුලින්ම ඔවුන්ට සමීක්ෂණය සඳහා යන්න සිදුවුණේ පුත්තලම් දිස්ත්‍රික්කයෙ පහරිය කියන ගමට. යන්න තියෙන්නෙත් කැලේ පාරක. මඟ දිගට අලි එහෙමත් ඉන්නවා. බණ්ඩාරනායක ආණ්ඩුව කාලෙ හදපු වැවක් තිබුණත් ගම්මුන්ට වතුර නැහැ. ගමෙන් එහා මායිමෙ විල්පත්තු කැලෑව. ගම්මු ජීවත්වුණේ දඩයම් කරල. ඒක වෙනම අත්දැකීමක්. ඊට පස්සෙ පුත්තලම් දිස්ත්‍රික්කයෙම වනාතවිල්ලුව ආසන්නයෙ එළුවන්කුලම ගම්මානයට යන්න සිදුවුණා. හරිම දුෂ්කරයි. වතුර නෑ. මේ පිරිස ගියෙත් ජල ව්‍යාපෘතියකට අදාළ තොරතුරු සමීක්ෂණයකට. උපාධිධාරී කණ්ඩායමේ 18 දෙනාම නතර වුණේ ගමේ පල්ලියෙ. එතකොට පියතුමාවත් එහෙ හිටියෙ නැහැ. පල්ලියෙ ශාලාවෙම නතර වෙලා උයාපිහාගන්න වුණෙත් ඔවුන්ටමයි. ගිය දවසට පහුවෙනිදම සමීක්‍ෂණ කටයුතු පටන් ගත්ත. එතකොටයි දැනගත්තෙ ඒ ගමේ ඉන්නෙ දෙමළ සහ මුස්ලිම් පවුල් විතරයි කියල. ඒ අයටත් සිංහල තේරෙන්නෙ නැහැ. මේ අර්බුදය මාර්ග ආයතනයට දැනුම් දුන්නම භාෂා පරිවර්තකයන් ලෙස තරුණ ළමයින් 18 දෙනෙක් ලබා දීල තිබුණ. ඒ අය පුත්තලම මහා විදා්‍යාලයෙ උසස් පෙළ ප්‍රතිඵල අපේක්‍ෂාවෙන් හිටපු සිසුන් පිරිසක්.

    ගෘහ මූලික ලැයිස්තු අනුව කණ්ඩායම් බෙදිල සමීක්ෂණ කටයුතු වහාම ආරම්භ කෙරුණා. එළුවන්කුලම ගමේ ඒ මිනිස්සු හරිම අහිංසකයි. එක පැත්තකින් වන සතුන්ගෙන් පීඩා විඳින ඔවුන් අනෙක් පැත්තෙන් සොබාදහමෙ අකාරුණික බවෙන් පීඩා වින්දා. ජීවත්වීම සඳහා කරගෙන ගියේ දුෂ්කර අරගලයක්. දිවයිනේ අඩුම වර්ෂාපතනයක් ලැබෙන කලාපය ලෙස හැඳින්වෙන මරිච්චිකට්ටුව තිබුණෙත් එළුවන්කුලමට උතුරින්.

    දැන් මෙතැන සමීක්ෂණ කණ්ඩායමෙ 36 දෙනෙක් ඉන්නවා. ඉවුම් පිහුම්වලට උවමනා හාල්, සිල්ලර, එළවළු මිලදී ගන්න පුත්තලම නගරයට යන්නට ඕන. ඒ යන්නෙ සති අන්තයට. ආයතනයෙන් ඒ සඳහා එවන ජිප් රථයෙන් යන්න පුළුවන් පස් හය දෙනෙකුට විතරයි. ඒත් ඊට වැඩි පිරිසක් වාහනයට එල්ලෙන්නෙ අර වනගත ජිවිතයෙන් මොහොතකට හරි අත්මිදෙන්න. ඒකත් අමුතු ආස්වාදනීය චාරිකාවක්.

    එළුවන්කුලමෙ මුස්ලිම් තරුණියන් එළි පහලියට ආවෙ කලාතුරකින් වුණත් පුත්තලම නගරයේ මුස්ලිම් තරුණියන් මඟතොට දැකීම සුලභ දසුනක් වුණා. මරතෝණ්ඩි රටාවලින් ඔවුන්ගෙ දෑත් සැරසුණු අසිරිය ඉඳහිට දකින්නත් මේ තරුණයන්ගේ උකුසු ඇස් සූක්‍ෂම නොවුණා නෙවෙයි. නගරයේදී අර තරුණ පිරිස “කොලු කමට” සිය ලිපින ලියූ තුණ්ඩු කෑලි ඔවුන් ඉදිරියේ බිම දානවා. ඒත් අර මුස්ලිම් තරුණියන් බිම බලාගෙන සිනාසෙමින් පැළලි වැටට මුවා වී යනවා විනා ඒවාට ප්‍රතිචාර දක්වා තිබුණේ නෑ.

    මහින්ද චන්ද්‍රසේකරත් මේ නාඳුනන මුස්ලිම් සංස්කෘතියෙ වෙනස තේරුම් ගන්නට උත්සාහ දරමින් හිටිය. ඒක තේරුම් ගැනීමක් වගේම විඳීමක්. කොහොම හරි ඔය සමීක්ෂණය මාස එකහමාරකින් විතර අවසන් වුණා. ඔහුට ගුරුපත්වීමක් ලැබුණෙ ඊළඟ අවුරුද්දෙ. ඒ, අම්පාර පානම මහා විද්‍යාලයට. නවතින්න වුණේ පොතුවිල්වල මුස්ලිම් සංස්කෘතික පරිසරයක. මධ්‍යාහ්නයේදී මුස්ලිම් මස්ජිද්වලින් ඇසෙන උච්ච ස්වරයේ ගායනා විලාසය ගැන ඔහු තුළ ඇතිවුණේ ලොකු කුතුහලයක්.

    අල්ලාහු අක්බර් – අල්ලාහු අක්බර්
    අෂ්හදු අන් ලා ඉලාහ ඉල්ලල්ලා
    අෂ්හදු අන්න මුහම්මදුර් රසූලුල්ලා

    පොතුවිල් ගමේ විශ්‍රාම ගිය ග්‍රාමසේවා නිලධාරීවරයෙකු වූ අබූබක්කර් එහි වගතුග ඔහුට කියා දුන්නා.

    “ඔය ඇහෙන්නෙ වාංගු. අපි කතා කරද්දි කියන්නෙ බාංගු කියල. එයින් කියවෙන්නෙ දැන් යාච්ඥාවට වෙලාව හරි. දෙවියන් උදෙසා වූ යාච්ඥාවට එන්න කියලයි.”

    වාංගු කියන්නෙ යාච්ඥාව සඳහා කෙරෙන ආරාධනයක්. මහින්දටත් මේක අහං ඉන්න ආසයි. හරියට පිරිත් වගේ.

    පොතුවිල්වල කාන්තාවන්ගෙ මරතෝණ්ඩිය රටා අත්වල විතරක් නෙවෙයි මූණෙත් දකින්නට පුළුවනි. මහින්දගෙ තවත් මුස්ලිම් යාළුවෙක් කියල දීල තිබුණා ගෑනු ළමයින්ගේ “බායි” කලිසම ගැන සහ “මුන්දානිය” ගැන. මුන්දානිය දාන්නෙ වැඩිවිය පත්වූ ගෑනු දරුවො. ඔහු දුටු තවත් සුලභ දසුනක් තමයි ළමයි පාරවල් දිගේ එළුවො දක්කගෙන යන ආකාරය. ඒක සමූහ චිත්‍රයක් වගේ. ඒත් මුන්දානිය දාපු ගෑනු ළමයි ඔවුනතර දකින්නට ලැබුණේ නෑ.

    නියපොත්තක් වගේ අහසේ දිලෙන රාමළාන් නව සඳ දැකීමෙන් ඇරඹෙන උපවාස සමය ගැනත්, කාන්තාවන්ට හිමි ගෞරවය මේ සමයේ ඉහළින්ම ලැබෙන බවත් ඔහු තවත් මුස්ලිම් මිතුරන්ගෙන් දැනගත්තා. අසල්වැසියාගෙ සංස්කෘතිය දෙස දයාර්ද්‍ර බැල්මක් හෙළන ගී නිර්මාණයකට අවශ්‍ය උත්තේජනය මහින්ද චන්ද්‍රසේකර ලබන්නෙ ඔය අත්දැකීම් සමුදාය එක්ක. ඒ හැඟීම ඔහු පද පෙළකට ගොනු කළා.

    මරතෝණ්ඩිය රටා අඳී අතේ කැකුළු හිතේ
    මොට්ටැක්කිලි තිරෙන් වැසී රටා වැළපෙතේ
    මූක්කුතෝඩි තිරුවංගල් එළියට අත වනනා
    රාමළාන් සඳ බලන්න එන්න පාතිමා

    ඔය ගීතය කවි 3ක් විදියට මුලින්ම ලියවෙන්නෙ 1985 දි විතර.

    ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙ රජරට සේවයේ පාලක විදියට ස්වර්ණ ශ්‍රී බණ්ඩාර ඉන්න කාලෙ තමයි සංගීතවේදී ගුණදාස කපුගේ එහි සංගීත අංශයේ ප්‍රධානියා විදියට පත්වෙලා ආවෙ. කපුගේගෙ අගය වටහා ගත්තු ස්වර්ණ ශ්‍රී ඔහුට ලොකු පිළිගැනීමක් ලබා දුන්නා. කපුගේ කේන්ද්‍ර කරගෙන නිර්මාණශීලී පිරිවරකුත් එතන ගොඩනැගුණා. මහින්ද චන්ද්‍රසේකර ඇතුළු යොවුන් නිර්මාණකරුවන්ටත් ඒ කාලෙ රජරට සේවය හොඳ තෝතැන්නක්. “පිලේ පැදුර” වගේ වැඩ සටහන්වලට තොරතුරු හොයා දෙන්න, “සංහිඳ” වගේ වැඩ සටහන්වලට දායක වෙන්න ඔහුත් බොහොම කැමැත්තෙන් යනව. ජයතිලක බණ්ඩාර, කරුණාරත්න දිවුල්ගනේ, ප්‍රේමරංජිත් විජේවික්‍රම වගේ තව බොහෝ පිරිසක් ස්වර්ණ ශ්‍රී ලා, කපුගේලා එක්ක ඇසුරට වැටීමෙන් සිය නිර්මාණ ජීවිත වලටත් බොහෝ දේ උකහා ගත්තා.

    ඉතින්, මහින්ද චන්ද්‍රසේකර නිවාඩු පාඩු වෙලාවක ගෙදර ආවම මුස්ලිම් සංස්කෘතිය කේන්ද්‍ර කරගෙන ලියූ අර ගීතය කරුණාරත්න දිවුල්ගනේට දීල තිබුණා. ඔහු එය සංගීතවත් කරන්න බාරදීල තිබුණෙ ගුණදාස කපුගේට.

    ඔහොම මාසයක් විතර ගියා. දිවුල්ගනේ මුණ ගැහුණම මහින්ද චන්ද්‍රසේකර සිය ගීය ගැන විමසුවා.

    “අනේ, කපුගේ ඒක තියන් ඉන්නවා. තාම නැහැ ආරංචියක්.”

    තවත් මාසයක් දෙකක් ගියා. කපුගේට ඕන වුණේ කල් අරගෙන ඒ ගීයට උචිතම සංගීත නිර්මාණය කරන්න. ඔය කාලෙ මොනව හරි විශේෂ සංගීත කටයුත්තක් තියෙනව නම්, කපුගේ සිය සමීප සහෘදයන් කීප දෙනෙක් අනුරාධපුර ගෙදරට කැඳවගෙන තමයි අවශ්‍ය පෙර සූදානම කරන්නෙ. ජයතිලක බණ්ඩාර, ප්‍රේමරංජිත් විජේවික්‍රම, කරුණාරත්න දිවුල්ගනේ ඇතුළු සංගීතකාමී සහෘදයන් ඒ විදිහට එකතු වෙනවා.

    දවසක් ප්‍රේමරංජිත්ට එහෙම ආරාධනාවක් ලැබුණා. ගෙදර ගියාම ආ ගිය තොරතුරු කතා කරල අනිවාර්ය සාධකයක් වුණු මධු සාදයටත් හවුල් වෙන්න වුණා.

    “සිංදුවක් හදන්න තියෙනවා රංජි”

    ඔහු සර්පිනාව අරන් දිවුල්ගනේ දීල තිබූ අර ගී පද මාලාවට තනුවක් දාන්න පටන් ගත්තා.

    වාංගු හඬ පූජාවේ තුන්යමටම ඇහෙනා
    තාංගු දෙයි හීන් දුකක් හිත ළඟ ගුලි ගැහිලා

    වචන ටිකට තනුවක් දැම්මත් ගීතයේ ආමුඛ සහ අන්තර් සංගීත ඛණ්ඩ සම්පූර්ණ කරගන්න තරම් අදහසක් ආවෙ නැහැ.

    “හරි යන්නෙ නෑ රංජි”

    ඔහු ගීතය පැත්තකින් තියල වීදුරුව අතට ගත්තා. ඊට පස්සෙ රෑ වෙනකල්ම වෙනත් කරුණුකාරණා ගැන අල්ලාප සල්ලාපයේ යෙදිල හිටිය. පසුදින උදේ ඉඳන් කපුගේ තමන්ගෙ සියලු කාරණා කටයුතු කළේ අලුතෙන් හදපු තනුවට අර ගී පද මුමුණමින්.

    කාංසියට පැළලි වැටේ කවුළු දොරෙන් එබිලා
    හීන් සැරේ ගෙට යනවද හිත දොරකඩ තියලා

    කපුගේ නාන කාමරේදි සිවුරුහන් බාමින් හිටියෙත් ඔය ගීතය. එහි ආමුඛ සංගීත කණ්ඩය ඔහුගේ හිතට ආවෙ ඒ වෙලාවෙ. නෑම අවසන් කොට ලහි ලහියේ ආ ඔහු සර්පිනාව වයමින් අදාළ සංගීත ඛණ්ඩය නිර්මාණය කළා.

    “ලියා ගනිං මේක….”

    ප්‍රේමරංජිත් විජේවික්‍රම එහි ස්වර ප්‍රස්තාර ටික කඩදාසියක සටහන් කළා. උතුරු ඉන්දීය සංගීතයේ එන “ටප්පා” නම් වූ ශාස්ත්‍රීය ගායනා ඇසුරු කරගෙන තමයි එහි ස්වර රචනා වුණේ. ඒක මෝගල් අවධියේ ඔටුවන් පදින්නන්ගේ ගායනාවලින් විකාශය වූ විලාසයක්.

    ඊට ආසන්න දවසක තමයි ගුණදාස කපුගේගෙ උපන්දින සමරුව යෙදිල තිබුණෙ. හරියටම අගෝස්තු 07 වෙනිදා. එදා ඔහුගේ අනුරාධපුරයේ නිවසට කරුණාරත්න දිවුල්ගනේත් ඇවිත් හිටිය. කපුගේ සර්පිනාව අරන් ඇවිත් දිවුල්ව වාඩිකරවගත්තා.

    “මචං, අපි අර සිංදුව බලමු”

    කරුණාරත්න දිවුල්ගනේවත් ළඟින් තියාගෙන කපුගේ ගීතයේ කොටසින් කොටස ගයමින් සංගීත සංරචනාව සම්පූර්ණ කළා.

    එළු රෑනේ වැලි පාරේ පිය සටහන් මකලා
    මුන්දානිය ගෙල එතුණා නුඹ ගෙයි සිර කරලා
    පාට පාට සමනලියන් පැළලි වැටෙන් දකිනා
    හීන වඩන හිත් ගොමුවේ කදුළු මලක් පිපුණා

    පැළලි වැටට මුවා වී සිටින මුස්ලිම් යුවතියන්ගේ විචිත්‍ර සිහිනමය කල්පනා සහ ඔවුන්ගේ විලාසිතා ලාවණ්‍යය තුරුණු සිත් තුළ සිරවී ඇති ආකාරය ගීත රචක මහින්ද චන්ද්‍රසේකර චිත්‍රණය කරල තිබුණෙ එහෙම. සර්පිනා, තබ්ලා, වයලීන වගේ වාද්‍ය භාණ්ඩ යොදා ගනිමින් මේ ගීය මුලින් පටිගත කළේ රජරට සේවයේ සරල ගී වලට. දිවුල්ගනේගෙ නැවුම් හඬ සමඟ සහෘදයන් ගීතය මුලින් වැළඳගත්තේ එතැනින්. පස්සෙ කාලෙ බොරැල්ලේ ජෝ නෙත් ශබ්දාගාරයෙදි මේ ගීතය නැවත පටිගත කරල නුගේගොඩ නෙකෝ ශබ්දාගාරයේදි දිවුල්ගනේ අලුතින් ඊට හඬ මුසු කළා. කපුගේ මේ පටිගත කිරීමෙදි එහි සංගීත සංයෝජනය තවත් පොහොසත් කරන්න පියවර ගත්තා. මුස්ලිම් සංස්කෘතිය පිළිබිඹු කිරීමට උචිත නාද වර්ණ ගැන කල්පනා කළ ඔහු අරාබි සංගීතයේ උපයෝගී කරගන්නා සාම්ප්‍රදායික භාණ්ඩයක් වූ “රබාබ්” නාදය ප්‍රතිරාවය කිරීම සඳහා යොදා ගත්තේ බැංජෝ සංගීත භාණ්ඩයයි. එය වාදනය කළේ ප්‍රවීණ වාද්‍ය ශිල්පී ඇන්තනි සුරේන්ද්‍ර.

    සිංග්ලංකා නිපැයුමක් ලෙස ජනගත වූ කරුණාරත්න දිවුල්ගනේගෙ “ඇසට අසුවන මායිමේ” කැසට් පටයෙන් සහ සංයුක්ත තැටියෙන් අපි අදත් අහන්නේ ඒ පටිගත කිරීමයි. එය ශ්‍රී ලංකාවේ මුස්ලිම් සංස්කෘතිය විචිත්‍ර ලෙස චිත්‍රණය කළ ගීයක් ලෙස පොදු රසික ප්‍රජාව වැළඳ ගත්තෙ දැඩි ළෙන්ගතුකමකින්.

    © නිලාර් එන්. කාසිම්

    පෙර ලිපි:

    ගිනි කඳක් ලෙද

    එකම මඟක පියවර මැන යන්නයි

    සැරයටියෙන් අපි යනෙන තුරා

    අම්මා – ජීවන උයන් තෙරේ…

    සිල්ප සොඳින් දැනගන්න ගිහින්

    අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා

    ඇය යන්න ගියා මැකිලා

    පුන්සඳ රෑට

    ගමේ කෝපි කඩේ

  • චින්න චින්න ආසෛ -25: සන්නාම, පෙන් නේම් හා කන්නාඩි

    චින්න චින්න ආසෛ -25: සන්නාම, පෙන් නේම් හා කන්නාඩි

    තමන්ගේ නම වෙනුවට වෙනත් නමක් පාවිච්චි කළ නවය වසරේ කොල්ලෙක් ඉස්කෝලේ පොත්වල පවා ඒ නම ලියාගෙන හිටියේ හෙන ආඩම්බරෙන්. මූට කොහොමත් ටිකක් පිස්සු ඇතැයි තේරුණු නිසා හෝ කොල්ලා පන්තියේ පොඩ්ඩක් බැබළුණු නිසා හෝ ගුරුවරුත් ඔය ජාතියේ වැඩ ඒ තරම් මායිම් කරේ නැහැ. සමහර ගුරුවරුන්ට ඒ වැඩේ මීටර් වුණෙත් නැහැ. ඒ කොහොම වුණත්, තැපැල් අයිඩින්ටියට ඒ නමින් අත්සන් කරලා තිබෙන බව මහා අපරාධයක් හෙළිකරන්නා සේ අම්මාට කේලම කිව්වේ කොල්ලාගේ මල්ලී.

    ගිනිකන්ද පිපිරුවා. තොපිට දෙමව්පියන් දාපු නම් හොඳ නැති වුණාදැයි බැණ වදිමින් අම්මා හනස්සකුත් රැගෙන යක්ෂාවේශයෙන් පසුපස පන්නන විට හනසු පහර කාගෙනම ඉදිරියට දිව ගිය විමුක්ති රණසිංහ නතර වුණේ උසට උසේ තිබ්බ පේර ගහේ දල්ලේ. අම්මාගේ පැන්නීම පේර ගස මුලින් අවසන් වුවත් තවත් විනාඩි දහයක් දොළහක් යන තුරු, ගුරුත්වාකර්ෂණ නියමයන් දෙදරවාගෙන පොළවේ සිට අහසට බැනුම් වරුසාව ඇද හැලුණා මතකයි. අන්තිමේදී ආරුඪ නාමයෙන් ගහට නැග්ග කොල්ලා සැබෑ නමින් යළි බිමට බැස්සා.

    එහෙව් නමක් හැදෙන්නත් එවකටත් බෝවී තිබුණු දේශපාලන උණ බලපාන්න ඇති. ජනතා විමුක්තිය, දේශප්‍රේමී ජනතාව, කීර්ති විජයබාහු ආදී නාම හා සංකල්ප අර කොල්ලාගේ මනසට බලපාන්න ඇති. කීර්ති විජේබාහු යනුවෙන් හැඳින්වූයේ ජවිපෙ දේශපාලන මණ්ඩල සභික සමන් පියසිරි ප්‍රනාන්දු බව කොල්ලා දැනගත්තේ තවත් ටික කාලෙකට පස්සේ. ආරූඪ නම්වලින් ලේඛනයේ යෙදීම හරිම අරුමැසි දෙයක් විදිහට ඒ කාලෙ පෙනුණා. ඒක එක්තරා ආකාරයක ගරිල්ලා පහරදීමක්. ෆේක් එකවුන්ට් බහුල වත්මන් ෆේස්බුක් යුගයේ නම් සන්දර්භය වෙනස්. එදා මෙදා යනු දෙකක්.

    පසුගිය සතියේ සුනිල් අයියා ගැන ලියූ සටහනේ විමලසිරි ගම්ලත් ගැන සඳහන කියැවූ කෙනෙක්, ආරූඪ නාමවලින් ලියූ පත්තරකාරයන් ගැන ලිව්වොත් හොඳ නැද්දැයි ඇසුවා. හොඳයි නේන්නම්. මේ පූර්විකාව ඒකට නොවැ. ලියුම්කරු වැඩියෙන්ම ආදරය කළ සහ කරන පත්තරය තමයි හිරු. විමලසිරි ගම්ලත් නමින් හිරුට ලිව්වේ විමල් වීරවංශ. විභූති වීදිය බණ්ඩාර, උදය කීර්ති පෙරේරා නමින් ලිව්වෙත් ඔහුම තමයි. උදය යනු මියගිය සටන් සගයෙක්ගේ නම බව සැලයි. විමලුත් තාම ඒ නම්වලට ආස ඇති.

    එවකට ගම්ලත්ගේ සමීපතම මිත්‍රයා රෝහිත භාෂණ අබේවර්ධන. නවීන් රත්නායකගේ රචනයන් භාෂණ ශෛලියට කිට්ටුයි.තවත් හිරු තරුවක් වූ සිසිර යාපාටත් ආරූඪ නාමයක් හෙවත් පත්තර කලාවේ සිංහලෙන්ම කිව්වොත්, පෙන් නේම් එකක් තිබ්බා. ඒ තමයි එස්.කහටවිල. මේ පෙන් නේම් පුරාවෘත්තය ලිවිය යුතුයි යන අදහස හිත ඇතුළේ ලියලමින් තියෙද්දී උපුල් ශාන්ත සන්නස්ගල, බන්දුල පද්මකුමාර උපහාර සාකච්ඡාවක් යූ ටියුබයට මුදාහැර තිබුණා. ඉතා ලස්සන පෙන් නේම් කීපයක් එයිනුත් හෙළිදරව් වුණා.

    ලිහිණි රඹුක්වැල්ල සහ ප්‍රතිභා මඩුගල්ල නම්වලින් ලියා ඇත්තේ වෙනින් කවුරුත් නෙමෙයි සන්නස්ගල. ඒ කාලයේ අපේ නෑදෑ අක්කලා වහවැටී සිටි කුමරි පත්තරේ දේවින්ද දසනායක තමයි ධර්මරත්න පෙරේරා. ඒ විතරක්යැ. එවකට කුමරියන් ආලයෙන් මුසපත් කළ චාමර මුතුනායක කවුද ? ඒ කුමාර සිරිවර්ධන. සන්නා එහි කී පරිදිම දේවින්ද දසනායකලා චාමර මුතුනායකලා අපේ ඔළුවල මැවී තිබුණේ හින්දි නළුවන් වගේ. අපේ ඔළුවලත් එහෙම මැවුනා නම් අපේ අක්කලාගේ ඔළුවල කොහොම මැවෙන්න ඇද්ද ?

    ඉස්සර ඉරිදා දිවයිනේ කරුණාදාස සූරියආරච්චි, කසුරි ලෙසින්, සිය නමේ අකුරු එකතු කර හදාගත් කෙටි නම නමටත් වඩා ජනප්‍රිය වුණා. ඊට පෙර පරපුරේ ගුණදාස ලියනගේ ගුලි වීම වගේම සිරිල් බී පෙරේරා සිබීරා වීම කසුරිට කසුරි වෙන්න බලපාන්න ඇති. දිවයිනේ එහෙම කෙටි නම් කීපයක්ම තිබ්බා. ගාමිණී සුමනසේකර සුගාර වුණා. චන්ද්‍රසිරි දොඩන්ගොඩ චන්දො වුණා. ඒ සම්ප්‍රදාය ඉදිරියට ගෙනයමින් ලංකාදීපයේ ශාන්ත කුමාර විතාන ශකුවි බවට පත්වූ හැටි සිත් ඇදගන්නා සුළුයි. ඒවා මේවා දුටු පත්තර ලෝලී පාසල් දරුවෙක් විසිකු වුණා. චින්න චින්න ආසෛ !

    ඇත්තේ බී ඒ සිරිවර්ධන රත්නසිරි නමින් ලියල තියෙනව බලධාරියා ප්‍රවෘත්ති කපන කාලෙක. ඇත්තේ පළමු කර්තෘ රත්නවීරගේ නමෙන් රත්න කොටසත් තමන්ගේ නමෙන් සිරි කොටසත් අරගෙන තමයි රත්නසිරි හැදිලා තියෙන්නේ. ඒ ඇත්තටම සිරිලාල් කොඩිකාර රංචාගොඩ ළමයා නමින් ගිනි විසිවෙන උපහාසයකින් පැදියක් ලිව්ව ඒ ඉතිහාසය ඇත්තටම ලස්සනයි. මේ ආරූඪ නාම හරි පුදුම සහගතයි. අසඩක් නමින් අසෝක ඩයස් ලිව්ව දිනපොත කියවන්නම විද්‍යා පුවත්පතක් වෙච්ච විදුසර ගත්ත ආට් කොමස් කරපු ළමයි ඕන තරම් ඉන්නවා.

    ප්‍රේමදාස ආණ්ඩුව කාලයේ මුළු රටම ප්‍රේමදාසට එරෙහිව ලියන විට ප්‍රේමදාසට පක්ෂව දේශපාලන විග්‍රහයක් සිළුමිණේ ලිව්වා අනුරුද්ධ තිලකසිරි කියා ලේඛකයෙක්. ඒ දයාන් ජයතිලක බව බොහෝ අය අනුමාන කෙරුවා. වික්ටර් අයිවන් රාවයේ දේශපාලන විග්‍රහය ලිව්වේ කෞටිල්‍ය නමින්. ජේ ආර්ට ප්‍රේමදාසට දේශපාලනිකව විරුද්ධ වුණු දයාසේන ගුණසිංහ රයිගම් රාළ,` උකුස්සා, භූතරි‍පෝටර්, ලුනටික්කා, හෙනහුරා, සංගුරා, මාර පුත්තරයා ආදී නම් ගණනාවකින් තීරු ලිපි ලිව්වා. තීරු ලිපි ලියූ නම් ගැන දිගට කතාකරන්න ගියොත් මේ තීරුවෙ තීරු ගතිය නැති වෙන්න පුළුවන්.

    ඒත් ඉතින් මානිගේ තීරුව ලිව්වේ සුන්දර නිහතමානී ද මැල් බවත් බණ්ඩාගේ වාක්කිය ලිව්වේ තිඹිරියාගම බණ්ඩාර බවත් නොලියා කොහොමද මෙතැන? එකම නමකින් ලේඛකයන් කීප දෙනෙක් ලියූ අවස්ථාත් නැතුවා නෙමෙයි. ගාමිණී සුමනසේකර, ගයිරික පේරුසිංහ, ශාන් විජේතුංග යන ලේඛකයන් තිදෙනා එක් එක් කාලවල නාගසේන නමින් දේශපාලන කොලමක් දිවයිනට ලියා තිබෙනවා. ඒ විතරක් නෙමෙයි විවිධ පක්ෂවල මධ්‍යම කාරක සභිකයන් ලංකාවේ විවිධ පුවත්පත්වලට විවිධ නම්වලින් දේශපාලන විග්‍රහයන් ලියා තිබෙන බවත් ඔබ දැනගත යුතුයි.

    ලියුම්කරු පත්තර රස්සාවට එන්නේ ලංකා පත්තරෙන්. ඊට අතදෙන පළමු කර්තෘ එස්. සිවකුමාර්. සිවාගෙන් පස්සේ කර්තෘ වෙන්නේ චන්දන සිරිමල්වත්ත. සිරිමල්වත්ත ලියනවා සංජීව සමරසිංහ කියන පෙන් නේම් එකෙන්. ඒ නමින් ඇත්ත කෙනෙක් ඉඳල පොඩි පටලවිල්ලකුත් වුණාලු. පෙන් නේම්වලින් ලියනකොට ඒ වගේ නොහිත ප්‍රශ්නත් එන්න පුළුවන්. සඳුන් ශ්‍රීමාල් කියන්නෙත් චන්දන සිරිමල්වත්තගෙ ජනරළ පත්තරේට පාවිච්චි කරපු පෙන් නේම් එකක්. හිරු පත්තරේ හිටපු මැනුවෙල් ජයසේකර විදෙස් පිටුවක් කෙරුවා ජනරළට ජය ශ්‍රී මනුවර්ණ නමින්.

    ප්‍රියන්ත ලියනගේ ලිව්වා වජිර පිටිගල කියල නමකින්. ඔය අන්තිමට කිව්ව ආරූඪ නම් තුන ලියුම්කරුගේ පත්තර ජීවිතයේ නාම නිර්මාණ හැටියටත් මතක ගොඩේ හංගල තියන්න පුළුවන්. ලංකා පත්තරේ හිටපු ප්‍රියදර්ශන දයාරත්නට නම් ගොඩක් තිබ්බා. ලංකා මාරසිංහ, ඉන්ද්‍රසිරි ජයසුන්දර, ගයාන් රූපසිංහ, කන්දයියා සුගීස්වරන් වගේම ලලිත්.පී.දයාරත්න කියන්නෙත් ඔහුම තමයි. සුබාෂ් ජයවර්ධන සුජය හා භාෂණ වීරතුංග නමින් ලියනකොට අසංක සායක්කාර අසාර නමින් ලංකා පත්තරය හැඩ කෙරුවා. සත්හඬ කන්තෝරුවේදී මුණගැහිච්ච කසුන් සමරතුංගට තිබ්බා ඉෂික ජයවර්ධන කියල පෙන් නේම් එකක්.

    ආරක්ෂාව, ආස්වාදය, ඒකාකාරීත්වයෙන් මිදීම වගේම ආර්ථික හේතුත් ලංකාවෙ පෙන් නේම්වලට බලපාපු හේතු හැටියට ප්‍රකාශ වෙනවා. ලංකාවේ විතරක් නෙමෙයි ලෝකය පුරා විවිධ ලේඛකයන් පෙන් නේම් පාවිච්චි කරලා තියෙනව. මාක් ට්වේන් කියන්නේ සැමුවෙල් ක්ලෙමන්ස්ගේ පෙන් නේම් එක කියල කියාදුන්නේ සඳුන් ශ්‍රීමාල්. මැක්සිම් ගෝර්කි කියන්නේ ඇලෙක්සෙයි මක්සිමොවික් පෙශ්කොව් කියල මතක් කළෙත් සඳුන්ම තමයි. චන්දිම ටයිරසී බණ්ඩාර, එස්. කහටවිල, කන්දයියා සුගීස්වරන්, වජිර පිටිගල, ඉෂික ජයවර්ධන යන උදවියත් මේ තොරතුරු හොයාගන්න නිසල් ජයතිලකට උදව් කළ බව ලියා තබන්න ඕනේ.

    ඉතින් අන්තිමට හිතෙන දේ වූකලී, ආරූඪ නමක් හෙවත් පෙන් නේම් එකක් යනු ලේඛකයකුගේ හැංගි මුත්තන් කිරීමේ පුංචි ආශාවක පින්තූර පෙන්වන කන්නාඩියද ?

    විමල් කැටිපෙආරච්චි

  • විමල්, කොහොමද සැප සනීප? අපි එසේ නොඅසන්නෙමු. – තාරක ලියයි

    විමල්, කොහොමද සැප සනීප? අපි එසේ නොඅසන්නෙමු. – තාරක ලියයි

    මතක තියාගන්න ඕන අතුරු මිතුරු කොහොම වුනත් දේශපාලන හතුරු මිතුරු තීරණය වෙන්න දඹදිව තුරු වගේම චීන තුරු ඇමරිකන් තුරු ත් බලපානවා. අනාගත දේශපාලනය දෙස කල්පනාවෙන් බලා ඉන්න. අලුත් මිතුරු කඳවුරු වගේම සතුරු කඳවුරුත් හැදෙයි. අලුත් බෝතල්වලට පරණ වයින් පිරෙයි. රැවටෙනවද නැද්ද කියල තීරණය කරන්න ඕන ජනතාව.

    අපි මෙහෙම කිව්වේ අන්තිම සටහනේ අන්තිමට. අද සටහනේ මුලට ගන්න වෙන්නෙත් ඒකම තමයි.

    විමල්ගෙයි ගම්මන්පිලගෙයි ඇමතිධුර ගලවලා. දේශපාලනිකව ගත්තොත් ඒක විමල්ලා බලාපොරොත්තු නොවුණු දෙයක් නෙමෙයි. සමහරවිට ගලවයි කියල දන්නවා මෙච්චර ඉක්මනට ගලවයි කියල හිතුවේ නැහැ වෙන්න පුළුවන්. කොහොමවුණත් මෙතනින් කොයිබටද ? ඒ ගැනත් විමල් ගැනත් අපි ටිකක් කතාකරමු.

    2008 අප්‍රේල් 08 වැනිදා ජවිපෙන් ඉවත්ව ගිහින් එතැන් සිට තමන් සතු සකලවිධ නිර්මාණශීලී හැකියාවන් ශක්‍යතාවන් සියල්ල රාජපක්ෂ බල කඳවුර පෝෂණය කිරීම උදෙසා කැපකරපු විමල්ව, ඒ නික්ම යාමට දා හතරවසරක් පිරෙන්න ඔන්න මෙන්න තියල, පූස් පැටියෙක් වගේ කනෙන් අල්ලලා ඒ කඳවුරෙන් එලියට දැම්මම, ඒක සුළුපටු සිද්දියක් නෙමෙයි.

    විමල්ගේ කට නැත්නම් රාජපක්ෂ කඳවුරක් අද නැත කියල යමෙක් කිව්වොත් ඒක බොරුවක්ම නෙමෙයි. 2005 ජනාධිපතිවරණයේ සිට ඒ කට වැඩකරේ ඒ වෙනුවෙන්. ඒ නිසා තමයි දොට්ට දැම්මට පස්සෙත් මහින්ද විමල්ලව ගෙදරට ගෙන්නලා ඔළුව අතගාල යවන්නේ. ඒත් ඉතින් වෙන්න තියෙන දේ වෙලා ඉවරයි. වතුරට වඩා ලේ ගණකමයි කියල ඒ පැත්තෙන් පෙන්නලා ඉවරයි.

    විමල් කියන්නේ ප්‍රශ්නයක මූලය නොපෙනෙන්න තරම් දේශපාලනික මෝඩයෙක් නෙමෙයි. එළියට මොකක් කිව්වත් කෙරුවත් විමල්ගේ හෘදය සාක්ෂිය දන්නවා වුණේ මොකක්ද වෙන්නේ මොකක්ද කියල. දශක එකහමාරක් තමන් පෝෂණය කරපු පවුල්වාදය, තමන්ගේම ඇඟට දැන් අවතාරයක් වගේ කඩා පැනල බයකරන්න හදනව කියල විමල් නොදන්නවා වෙන්න බැහැ.

    හැබැයි ඒ දැනුවත්කම අවංකව පිළිගන්න මොහොත තවමත් උදාවෙලා කියල හිතන්න අමාරුයි. ඉවත්වීමෙන් පසු ප්‍රවෘත්ති සාකච්ඡාවේ මූලික හරය බැසිල් විරෝධය විතරයි. එතනදී විමල්ගේ ඇටිටියුඩ් එක නිහතමානී නැහැ. පුංචි ගෝටලා පුංචි බැසිල්ලා ඒ ගොල්ලෝ ඇතුලෙත් ඉන්න බව පැහැදිලියි. දොට්ට දාපු නිසා කරන නාහෙන් ඇඬිමක් විනා දේශපාලන ස්වයං විවේචනයක් ඒ සාකච්ඡාවේ තිබුණේ නැහැ.

    තමන් අකමැති දේ කියනකොට තමන්ට විරුද්ධයි කියල හිතනවා විමල් මෙහෙම කිව්වේ ගෝටා ගැන බැසිල් ගැන. හැබැයි ඒ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී විමල් හැසිරුනෙත් සහ තව බොහෝ තැන්වලදී විමල් හැසිරෙන්නෙත් එහෙමම තමයි. විමල් ගාව විතරක් නෙමෙයි ජවිපෙ ගාවත් ඔය උද්දච්ච ලක්ෂණ හිටපු ගමන් මතුවෙනවා. පුංචි ගෝටලා පුංචි බැසිල්ලා හැම පක්ෂෙම අඩුවැඩි වශයෙන් ඉන්නවා.

    දේශපාලන පක්ෂවල විතරක් නෙමෙයි පොදු ජනයා තුලත් තියෙන්නේ ඔය මානසිකත්වයම තමයි. යකාගේ හැටියට විමානේ වගේම විමානේ හැටියට යකා වෙන්නත් පුළුවන්. අලුත් ජනතාවක් පත්කරගත යුතුයි කියල බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් කිව්වේ ඒ නිසා වෙන්න ඇති. මේ මනෝ විද්‍යාත්මක කරුණු සාකච්ඡා කරන එක වෙනම කළ යුතු ලොකු වැඩක් නිසා ඒ කරුණ පොඩ්ඩක් පැත්තකින් තියල මාතෘකාවට එමු.

    දැන් ඊළඟට මොකද වෙන්නේ ? වටේ යන්නැතුව අපි කෙලින්ම කාරණාවට බැස්සොත්.. ඊළඟ මහමැතිවරණය එන්න කලින් විමල්ලව ආපහු ආණ්ඩුව ඇතුලට ගත්තොත් වැඩේ කපෝති. එහෙම නොගත්තොත් විමල්ලා මෛත්‍රීලා වෙනම ඉල්ලුවොත් ජාතික ජන බලවේගයට තියෙන රැල්ල අවුල් කරලා ප්‍රදර්ශනාත්මක සෙල්ලමක් දාන්න චාන්ස් එකක් එනවා.

    මොන ප්‍රශ්න තිබ්බත් විමල්ලාගේ හාම්පුතුන් ඒකට නං අකමැති වෙන එකක් නැහැ. හරි. ඊට පස්සේ හැදෙන පාර්ලිමේන්තුව මොන වගේ එකක් වෙයිද ?

    ඒ පාර්ලිමේන්තුවේ පොඩි මන්ත්‍රී කුට්ටියක් කඩාගන්නත් විමල්ලාට බැරිවෙන එකක් නැහැ. හාම්පුතුන් ඒකටත් අකමැති වෙන එකක් නැහැ. අකැමති වෙන එකක් නැහැ විතරක් නෙමෙයි තුන්වැනි බලවේගය බවට පත්කරන්න ඡන්දයේදී යටින් යටින් උදවුත් කරයි බොහෝ විට.

    ඊළඟට හැදෙන ආණ්ඩුව මොකක් වුනත් – තමන්ගේම වුනත් තමන්ගේ නොවන තමන්ගේ එකක් වුනත් – තමන්ගේම නොවන එකක්ම වුනත් වර්තමාන පාලකයන් බොහෝ විට ආරක්ෂිතයි. 2015 ඔච්චර විරසක වෙච්ච මෛත්‍රී යටතේත් ඒ ගොල්ලෝ ආරක්‍ෂිත වුනා නං මේ ගොල්ලෝ මුක්කු ගහන ආණ්ඩුවක් එකෙන්ම ආරක්ෂිතයි. සජබ ආණ්ඩුවක් යටතේ සීයට සීයක් මේ පාලකයෝ ආරක්ෂිතයි. අපි නොදන්න සජිත් (සහ රනිල්) !

    කොහොමවුණත් මේ වෙලාවේ අපි විමල්ගෙන් සැපද කියල අහන්නේ නැහැ. දේශපාලනයේ චලනයන් විමල්ට තේරෙනවා. හැබැයි ඉතිහාසයේ කුණු බක්කියෙනුත් පහතට නොවැටෙන්න නම් අවංකව නිහතමානී වෙන්න වෙනවා. අවංකව ස්වයං විවේචනය කරන්න වෙනවා. බොක්කෙන් ජෙනුයින් වෙන්න වෙනවා. එහෙම නොවුණොත් දැනුවත්ව හෝ නොදැනුවත්ව නරි නාටකයක චරිතයක් වෙනවා.

    ප්‍රිය පාඨකය, මේ සටහන අදට අවසන්. දැන් ඔබ පළමු ඡේදය යළි කියවන්න.

    • තාරක
  • ගිනි කඳක් ලෙද

    ගිනි කඳක් ලෙද

    ගී ඇසුර 26

    රූපවාහිනී ටෙලි නාට්‍ය කලාවට සාධනීය දායකත්වයක් එක් කළ ජයන්ත චන්ද්‍රසිරි ඒ ගමන පටන් ගත්තෙ “වෙද හාමිනේ” ටෙලි නාට්‍යයෙන්. ඊළඟ සන්ධිස්ථානය වුණේ “දඩුබස්නාමානය”. ජයන්තගේ වෙද හාමිනේ, වෙස් මුහුණ, දඩුබස්නාමානය සහ අකාල සන්​ධ්‍යා කියන හැම නිර්මාණයක්ම ටෙලිවීව් නිෂ්පාදන. ටෙලිවිව් කියන්නෙ සුනිල් රත්නායක.

    සුනිල් රත්නායක 1983 දී රූපවාහිනී වැඩ සටහන් නිෂ්පාදන කාර්යයට එළඹුණේ “සුරසි ටෙලි ෆිල්ම්ස්” නමින්. වාර්තා සහ වෙනත් වැඩ සටහන් නිෂ්පාදනය කළත් “සුරසි” ටෙලි නාට්‍ය නිෂ්පාදනය කළේ නැහැ. 1984 දී එම ආයතනය “ටෙලිවීව්” නමින් නම් කෙරුණු අතර 1986 දී ටෙලිවීව් (පුද්) සමාගම බිහිවුණා. ටෙලි නාට්‍ය නිෂ්පාදනයට ඔවුන් එළඹුණේ ටෙලිවීව් හැටියට. විජය ධර්ම ශ්‍රී අධ්‍යක්‍ෂණය කළ “රන් දොරටුව” ඔවුන්ගේ ප්‍රථම ඒකාංගික ටෙලි නාට්‍යය වූ අතර ඔහුගේම අධ්‍යක්‍ෂණයක් වූ “සමන් තැන්න” පළමු ටෙලිවීව් ප්‍රාසංගික ටෙලි නාට්‍යය විදිහට නිෂ්පාදනය කෙරුණා.

    ජයන්ත චන්ද්‍රසිරි ටෙලිවීව් සමඟ එක්ව මුලින් නිර්මාණය කළ “වෙද හාමිනේ” විකාශය කෙරුණේ ජාතික රූපවාහිනියෙන්. ඉහළම ජන ප්‍රසාදයක් ඒ සඳහා හිමි වූ අතර එතෙක් පුවත්පත් කලාවේදියෙකු සහ නාට්‍යවේදියෙකු විදියට ජයන්තගෙ තිබුණු ප්‍රතිරූපය විශිෂ්ට ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂවරයකු දක්වා විස්තාරණය වුණා. ඊට පස්සෙ 1993 දී ජාතික රූපවාහිනියම අරමුණු කරගෙන තමයි “දඩුබස්නාමානය” සැලසුම් කළේ. ජයන්ත චන්ද්‍රසිරි – සුනිල් රත්නායක සුසංයෝගයක් විදිහට එය සැලසුම් කෙරුණා. ජනතාවගේ මතකයෙන් බැහැරව ගොස් තිබූ අපේ සාම්ප්‍රදායික සටන් කලාවක් වූ අංගම්පොර සටන් ක්‍රමය පාදක කරගෙන තමයි ජයන්ත එහි පිටපත සැකසුවෙ. බුද්ධදාස විතානආරච්චි, ශ්‍රියන්ත මෙන්ඩිස්, ඩබ්. ජයසිරි, සේනක විජේසිංහ සහ දීපානි සිල්වා වැනි රංගන ශිල්පීන් එහි පුමුඛතම භූමිකාවන් කීපයකට පණ පෙවූ අතර සටන් කලා සම්ප්‍රදාය යටින් හුයක් වගේ දිවෙන ප්‍රේම වෘත්තාන්තයට පණ පෙව්වෙ කමල් අද්දරආරච්චි සහ දමිතා අබේරත්න. කමල් තමයි රනා. දමිතා, පාලිගේ චරිතයටයි පණ පෙව්වෙ.

    ජයන්ත සුපුරුදු විදිහටම සිය නිර්මාණයේ සංගීත අධ්‍යක්‍ෂණය භාර දීල තිබුණෙ සංගීතවේදී ප්‍රේමසිරි කේමදාසට. පිටපතේ හැටියට රනා සහ පාලි අතර කාලාන්තරයක් තිස්සේ තිබුණු ආකර්ෂණය ක්‍රමානුකූලව ආදරයක් විදියට මෝරාගෙන එනව. ඒ අප්‍රකාශිත ආදරයේ කූටප්‍රාප්තිය ප්‍රකාශ විය යුතු දවසක මහ රෑ රනා එනවා ඇය මුණ ගැහෙන්න. ඒ එන්නෙ “දැන් අපි මේක නවත්තමු” කියල කියන්නට. ඊට පස්සෙ රනා කැලේ පනිනවා. ඒ අවස්ථාව හොඳම විදියට රූපණය කරන්න නම් එය ගීයකින් ප්‍රකාශ කළ යුතු බවයි ජයන්ත චන්ද්‍රසිරිගේ අදහස වුණේ.

    එක දවසක් හැන්දෑවක ජයන්ත හදිසියේ ටෙලිවිව් ආයතනයට දුවගෙන ආවෙ සුනිල් රත්නායක හමුවෙන්න.

    “මිස්ටර් රත්නායක මං තකහනියම ආවෙ ආරාධනයක් කරන්න.”

    සුනිල් රත්නායක හිතුවෙ පොත් දොරට වැඩීමක හරි මුහුරත් උළෙලක හරි ආරාධනයක් කියල.

    “මොකක්ද ජයන්ත?”

    “අපේ ස්ක්‍රිප්ට් එකේ රනාගෙයි – පාලිගෙයි ආදරය කූළුගැන්වෙන තැන ඇතිවෙන වියෝවක් ගැන කියන්න වෙන්නෙ සිංදුවකින්ම තමයි. මං දහ අතේ කල්පනා කළා. ඒකට වෙන විදිහක් නෑ. අන්න ඒ සින්දුව රචනා කරන්න ඕන ඔබතුමා”

    සුනිල් තුළ ක්‍ෂණයකින් ඇතිවුණෙ විමතියක්.

    ජයන්ත චන්ද්‍රසිරි සහ සුනිල් රත්නායක අතර දීර්ඝ කාලීන මිතුරුකමක් තිබුණත් ඔහු එක්ක ඊට කලින් කළ නිර්මාණවලදී සුනිල්ට ගීත ලියන අවකාශයක් ලැබුණෙ නෑ. ඒත් ඔහුගෙ ටෙලි නාට්‍යයකට ගීයක් ලිවීමේ ආශාවක් සුනිල් ගේ යටිහිතේ නොතිබුණා නෙවෙයි. නිෂ්පාදකවරයා විදියට සුනිල් රත්නායක තරමක ආඩම්බරයකින් හිටිය මිසක් සිංදු ලියන්න අවස්ථාව ඉල්ලගෙන ගියෙත් නෑ.

    දැන් උදාවෙලා තියෙන්නෙ තමන් දීර්ඝ කාලයක් තිස්සේ අපේක්‍ෂා කළ අවස්ථාව.

    “අමතක කරන්න එපා මියුසික් කරන්නෙ මාස්ටර්. අර රචකයා ලියපු ගීතය 21 වරක්ම ඉරල විසි කළා මතකයිනෙ. සමහර විට වචන වෙනස් කරන්න කියයි. නැත්නම් ප්‍රතික්ෂේප කරයි.”

    ජයන්ත මේ වැඩේ ඇති අවදානම අවධාරණය කළා.

    “අයියෝ කමක් නෑ. මං ලියන්නම්. ආරාධනාවට ස්තූතියි. සුදුසු නම් ගන්න. නැත්නම් අමතක කරල දාමු.”

    සුනිල්, ජයන්තගෙ ආරාධනය පිළිගත්තා. කමක් නෑ කිව්වට ගීත රචනාව ප්‍රතික්ෂේප වුණොත් තමන්ම මුදල් ගෙවල යොදව ගත්තු සංගීතවේදියා ඉදිරිපිට හෑල්ලු වෙන්නයි වෙන්නෙ.

    “පොඩි කාලෙ කවියක් දෙකක් ලියපු මම ලොකු සාහිත්‍යකාරයෙක් නෙවෙයි තමයි. ඒත් මේ චැලේන්ජ් එකේදි සෙකන්ඩ් වෙන්න නරකයි.” සුනිල් තමන්ටම කියා ගත්තා.

    සුනිල් රත්නායක බදුල්ල මධ්‍ය මහා විදුහලේ සිප්සතර ලබන අවදියේ ඔවුන්ගෙ කණ්ඩායමක් තිබුණ “සැළලිහිණි ගායක කණ්ඩායම” කියල. ජනප්‍රිය ගීතවලට අලුත් වචන දාල කියන එක තමයි එයාලගෙ විනෝදාංශය. එතකොට ඒවායේ අනුකාරක ගීත ලිව්වෙ සුනිල්. පස්සෙ කාලෙ ඔහුට තිබුණ ලොකුම හීනයක් තමයි වික්ටර් රත්නායක සහ ජිප්සීස් සුනිල් ලවා තමන් ලියපු ගීයක් කියවගන්න එක. ඉතින් ඔහු බදුල්ල, බණ්ඩාරවෙල පළාත්වල තිබුණු වික්ටර්ගේ “ස” ප්‍රසංග බලන්න ගියාම වික්ටර් රත්නායක හමුවෙන්න උත්සාහ කළත් ඒක සාර්ථක වුණේ නැහැ. එක ප්‍රසංගයක සංවිධායක සුනිල්ට වික්ටර් රත්නායක හමුවීමට ඉඟියක් දුන්නා.

    “කොහොම හරි හමුවෙන්න පුළුවන් ඔතනට වෙලා හිටියොත්. ෂෝ එක ඉවරවෙලා යන්නෙ ඔතනින් තමයි.”

    සුනිල් ප්‍රසංගය ඉවර වෙලා පිරිස යනකල් බලන් හිටියත් වික්ටර්ව දැක්කෙ නෑ. පස්සෙ තමයි දැනගත්තෙ වික්ටර් රත්නායක එතැනින් ගිහින් තියෙන්නෙ වෙස් වලාගෙන කියල. ඒ කාලෙ තිබුණු ජනප්‍රියත්වය එක්ක රසිකයන්ගෙ ඇතැම් කරදර වලින් මිදෙන්න ඔහු එහෙම වෙස්වලාගෙන ගිය අවස්ථා තියෙනවා.

    කොහොම හරි පස්සෙ කාලෙ වික්ටර් රත්නායක සහ සුනිල් පෙරේරා කියන ගායන ශිල්පීන් දෙන්නම සුනිල්ගේ ගී ගයා තිබුණා. ඔහුගෙ ඒ හීනයත් හැබෑ වුණා. හැබැයි ටෙලි නාට්‍ය නිෂ්පාදකවරයෙක් වුණාට පස්සෙ. “පොද වැස්සක්” ටෙලි නාට්‍යයට ලියපු තේමා ගීතය තමයි සුනිල් රත්නායකගෙ පළමු ගීතය වුණේ.

    කිරිල්ලියක් විය තටු නැත ලැබිලා
    ඉගිලී යන්නට අහස පුරා
    ලොව හිනැහෙද්දී දෑස පියා
    දෙපයින් ඈ යයි දෙරණ පුරා

    රෝහණ වීරසිංහ සංගීතවත් කළ ඒ ගීය ගැයුවෙ මාලනී බුලත්සිංහල. ඊට පස්සෙ ඉරට හඬන මල්, පහන් වැට වගේ ටෙලි නාට්‍ය රැසකට ඔහු තේමා ගීත රචනා කළා.

    දඩුබස්නාමානය ගීතය ඒ සියල්ලටම වඩා අභියෝගත්මකයි. වැඩේට අදාළව “හෝම් වර්ක්” කරල ගීතය ලියන්නයි ඔහු සැලසුම් කළේ. ඊට පස්සෙ සුනිල් තමන්ගෙ පොත් රාක්කයෙ තිබුණ හංස සංදේශය, ගිරා සංදේශය, යසෝදරාවත, ජනකවි සංග්‍රහ මේ ඔක්කොම අරගෙන දවස් දෙකක් නිවාඩු දාලා ගියා බදුල්ලෙ. ටෙලි නාට්‍ය පිටපතට වස්තු විෂය වෙලා තියෙන්නෙ 20 වන ශත වර්ෂයෙ මුල් භාගයෙ සිද්ධි මාලාවක්. ජයන්ත අවධාරණය කරල තිබුණෙත් ගැමි නාද මාලාවක් සම්පාදනය කරන්න පුළුවන්, ජනශ්‍රැතික ලක්ෂණ තියෙන ගැමි මනෝභාවයක් නිරුවත් ලෙස ප්‍රකාශ විය යුතු වාං මාලාවක් මේ ගීයට අවශ්‍ය බවයි.

    ඉතින් ලොකු අභ්‍යාසයකින් පස්සෙ සුනිල් වචන ගැටගහගෙන ගී පද මාලාවක් පෙළ ගැස්සුව.

    ගිනි කඳක් ලෙද
    යදැල් බිඳී මතුවුණ ගිනි කඳක් ලෙද
    හද වාවාද
    සැණෙන් නැගුණු දුක් කඳ හද වාවාද
    නිරන්තරේ උන්නෙම් හෙවණැල්ල ලෙද
    නුවනින් කඳුළු බාගෙන ඉන්නේ කෙලෙස

    සංගීත පටිගත කිරීම සඳහා යොදාගත් දිනට පෙර දිනයෙ ජයන්තට ගීතය දුන්නෙ දුරකතනයෙන්. ඔහු පස්වනක් ප්‍රීතියට පත් වුණා. අධ්‍යක්‍ෂවරයා තෘප්තිමත්.

    “ඒත්, කේමදාස මාස්ටර්ගෙ ප්‍රතිචාරය මොකක් වෙයිද?”

    දෙන්නටම එහෙම චකිතයක් නොතිබුණා නෙවෙයි. ජයන්ත චන්ද්‍රසිරි මාස්ටර් මුණ ගැහිල ගීතය ඔහු අතට පත් කළා.

    “කව්ද ලිව්වෙ?”

    “ඉස්සෙල්ල කියවන්නකො මාස්ටර්.”

    මාස්ටර් ගී පද මාලාව මුල ඉඳන් අගට කියෙව්ව.

    “​ෂා මරුනෙ ! කව්ද ලිව්වෙ අහවලාද?”

    මාස්ටර් ප්‍රකට ගීත රචකයෙකුගෙ නමක් කිව්ව.
    “නෑ.”

    “එහෙනම් මේක අහවලා ලියන්න ඇති.”

    තවත් රචකයෙකුගෙ නමක් මතු කළා.

    “නෑ !”

    “එහෙනම් කව්ද? ඔයාද ලිව්වෙ?”

    ”නෑ මාස්ටර්, මං නෙමෙයි. ඕක ලිව්වෙ සුනිල් රත්නායක.”

    කේමදාස මාස්ටර් ඔළුවට අතගහ ගත්ත.

    “ජයන්ත, මේක මරු. මූ නම් යකෙක්.”

    රචකයා තුළ ජීවත්වූ ගැමියා තමයි මේ ගීත රචනාවෙදි අවදි වෙලා තිබුණෙ. ඊට සංගීතවේදී කේමදාස නිර්මාණය කළේ හිත රිදවන, පපුව පාරන ඒ ඔස්සේ අප යම් ප්‍රඥාවකට කැඳවාගෙන යන සංගීත ප්‍රකාශනයක්.

    ආලවන්තකම මෝරපු රන් කඳට
    සිතුවේ සසර කෙළවර තෙක් රැක ගන්න
    තරුවක් කඩා වැටුණා අප වෙන්වන්ට
    කුමක් කරන්ටද පූරුවෙ කළ පවට

    ගීතයෙ හඬ පටිගත කිරීම යොදාගත් දවසෙ ගායන ශිල්පී මාලනී බුලත්සිංහලට එන්න විදියක් නෑ. ඇය වෙන කටයුත්තක. මාස්ටර් කෝකටත් කේමදාස පදනමේ සිසුවියන් කිහිප දෙනෙකු ලවා මේ ගීතය ගයන්න පුහුණු කළේ එදිනම පටිගත කිරීම අවසන් කරන්න. නමුත් ඔහු අපේක්‍ෂා කළ හැඟීම් ගායනය මතු වුණේ නැහැ. අන්තිමට මාලනී බුලත්සිංහල සහ අමරසිරි පීරිස් දෙදෙනාටම පහසු දිනයක් පටිගත කිරීම සඳහා නුගේගොඩ නෙකෝ ශබ්දාගාරයේදී යොදා ගත්තා. ශබ්ද පරිපාලනය කළේ මර්වින් බේන්ස්. වැළපුම් ගායන අනුසාරයෙන් එන හැඟීම් ප්‍රකාශනයක් තමයි මාලනීගෙන් සහ අමරසිරිගෙන් මාස්ටර් මතුකර ගත්තෙ.

    දඬුබස්නාමානය ටෙලි නාට්‍යය එක දිගට බලපු ප්‍රේක්‍ෂකයන්ගෙ දෑස්වලට කඳුළු නංවන්න මේ ගීතය සමත් වුණා. සුනිල් රත්නායක වඩාත් ප්‍රචලිත වුණේ ටෙලි නාට්‍ය නිෂ්පාදකවරයෙකු සහ අධ්‍යක්‍ෂවරයෙකු විදියට. ඒ වුණත් ඔහු රසික අවධානයට ලක් වන ගීත 18ක් 20ක් විතර ලියා තිබුණා. ඒ අතර “ගිනි කඳක් ලෙද” වැජඹෙන්නෙ වෙනම වටිනාකමකින්.

    © නිලාර් එන්. කාසිම්

    පෙර ලිපි:

    එකම මඟක පියවර මැන යන්නයි

    සැරයටියෙන් අපි යනෙන තුරා

    අම්මා – ජීවන උයන් තෙරේ…

    සිල්ප සොඳින් දැනගන්න ගිහින්

    අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා

    ඇය යන්න ගියා මැකිලා

    පුන්සඳ රෑට

    ගමේ කෝපි කඩේ

  • ආණ්ඩු වෙනස් කරන්න දෙයියන්නාන්සේට පුළුවන්ද ? – තාරක ලියයි 

    ආණ්ඩු වෙනස් කරන්න දෙයියන්නාන්සේට පුළුවන්ද ? – තාරක ලියයි 

    පසුගිය දවසක එක්තරා මාධ්‍ය හමුවකදී කියවුණා “මේ ආණ්ඩුව එක ටෙලිෆෝන් කෝල් එකකින් දණ ගස්වන්න පුළුවන්“ කියල. බැලූ බැල්මට ඒ කතාව ආණ්ඩු විරෝධීන්ගේ ගැලරි ආතල් එක උස්සන කතාවක් තමයි. හැබැයි ඉතින් පේන දේ ඇත්ත නං විද්‍යාවක් අවශ්‍ය නොවේ කියලා මාක්ස් කියලා තියෙනව. මාක්ස් එහෙම කියල නොතිබුණත් මේ වගේ ප්‍රකාශ ගැන ටිකක් හොයල බලන්න වටිනවා. 

    අපි දන්නා විදිහට නම් ජනවරමෙන් පත්වෙච්ච ආණ්ඩුවක් දණ ගස්වන්න පුළුවන් ජනවරමකින් විතරයි. ප්‍රජාතන්ත්‍රවාදිව මැතිවරණයකින් ආණ්ඩු වෙනස් කිරීම තමයි පිළිගත් විදිහ. එතකොට එහෙනං මොකක්ද ඔය මේ කියන දණ ගස්සන ක්‍රම ? මාරයිනේ. කාගෙන්ද ඒ කෝල් එක එන්නේ ? ආගමික කණ්ඩායමක ජාත්‍යන්තර නායකයෙක්ගෙන්ද එහෙමත් නැත්නම් දෙයියන්නාන්සේගෙන්ද ? 

    මෙහෙමයි. මේ ආණ්ඩුව එක්ක අපට දහසක් ප්‍රශ්න තියෙනව තමයි. ඇත්තටම කිව්වොත් ආණ්ඩුව එක්ක එකඟ වෙන්න පුළුවන් කරුණු එකක්වත් නැති තරම්. ඒ තරම් `හොඳටම කරන` ආණ්ඩුවක් මේක. හැබැයි මූණත් එක්කල තරහවෙලා නහය කපා ගන්නවට වඩා දේශපාලනිකව සංකීර්ණයි ආණ්ඩුව එක්ක තරහ වෙලා ස්වෛරීත්වය කපා ගන්න එක. 

    මේවා ඉතින් විසිල් වදින කතා නෙමෙයි. තිත්ත දැනෙන කතා. හැමෝම ලියන චූන් කතා ලියන්න නං තවත් දේශපාලන කොලමක් ඕන නෑනේ. ඒ නිසා අපි තිත්ත වුණත් හෘදය සාක්ෂියට එකඟව ලියනවා. මොකද අපට පොදු ජනයාගේ ඉරණම එක්ක මිසක් වෙන කාත්තෙක්කවත් විශේෂ ආදරයක් නැති නිසා. බුදුන් වහන්සේට යේසුස් වහන්සේට නබි තුමාට අපි ගරු කරනවා. හැබැයි පසුකාලීනව ගොඩනැගුණු කොයි සංස්ථාවත් අපට එකයි. 

    ලෝකයත් එක්ක සාමුහිකව ඉදිරියට යාමේදී ලෝක සම්මුතීන් එක්ක එකඟව ඉස්සරහට යන එක තමයි ශිෂ්ටත්වය. ඒක ගැන විවාදයක් නැහැ. මානව හිමිකම් මානව නිදහස මේ හැමදෙයක්ම ඕන. ලෝකය අපිව ශිෂ්ට රටක් හැටියට පිළිගන්නේ එතකොට. සංස්කෘතිකයි. එකඟයි. හැබැයි අර ඉස්කෝලේ යන කාලේ වලිවලදී අයියල දාල ගස්සනවා වගේ වැඩ දේශපාලනයට අදාළ ජාත්‍යන්තර ගනුදෙනුවලදී කරන්න යන එකට එකඟ නැහැ. සංස්කෘතික නැහැ. 

    විශේෂයෙන්ම ජාතික ආගමික වශයෙන් ප්‍රජාවන් බෙදාගෙන කරන පෙනී සිටීම් කොයි අතින් ගත්තත් පසුගාමීයි. ගෝත්‍රිකයි. මොකද, සිංහලයාගේ මානව හිමිකම් දෙමළාගේ මානව හිමිකම් මුසල්මානුවාගේ මානව හිමිකම් බෞද්ධයාගේ මානව හිමිකම් කතෝලිකයාගේ මානව හිමිකම් හින්දු භක්තිකයාගේ මානව හිමිකම් තියෙන්න පුළුවන්ද ? මානව හිමිකම්. එච්චරයි. 

    අපි දිගටම කියාගෙන ආව දෙයක් තමයි දේශපාලන හා ආගමික යෂ්ඨි එකිනෙක මාරුකරවන්න එපා කියන එක. ලෝක සම්මුතීන් ආරක්ෂා කරන්න නිල ව්‍යුහයන් තියෙනවනේ. ඒ ඇති. ලංකාවේ දේශපාලනයට අතපෙවීම කියන කාරණාවේදී මල්වතු අස්ගිරි පාර්ශව සම්බන්ධව එක මතයකුත් වතිකානය හෝ මක්කම සම්බන්ධව තව මතයකුත් තියෙන්න බැහැනේ. ලොකු වුණත් පොඩි වුණත් සන්දර්භය එකයි.

    මේ වගේ දේවල්වලට පළමු වටයේදී නිවැරදි විවේචනය නොගෙනාවොත් දෙවෙනි වටයේදී හෝ තුන්වෙනි වටයේදී පරක්කු වැඩිවෙන්න පුළුවන්. ප්‍රින්සිපල්ට පැමිණිලි කරන්න ඕන කරුණුවලට, අයියල දාල ගස්සන්න ගියොත් ගෙවල්වල මිනිස්සුත් වලියට පැටලිලා ගමේ මිනිස්සුත් වලියට පැටලිලා පිහි ඇනුම්වලින් මිනීමැරුම්වලින් තමයි ඉස්කෝලේ වලිය කෙළවර වෙන්නේ. 

    ඉස්කෝලේ ඉන්න නගරන් චන්ඩියා, ප්‍රින්සිපල්ට අවනත වෙන්නැත්තන් පියවරෙන් පියවර තමයි ඉස්සරහට යන්න ඕන. ගමේ අය සාමකාමී උද්ඝෝෂණයක් කරන මොහොතක් අනාගතයේදී එන්න පුළුවන්. හැබැයි ඒක කරන්නත් ඕන “අපේ එකාට ගහපු එකාට රිටන් එක දෙන්න ඕන“ කියන තැනින් නෙමෙයි “සියලු පාසල් දරුවන්ගේ ආරක්ෂාව සහතික කරනු“ කියන තැනින්. 

    අපි ඉතාම උවමනාවෙන් ආණ්ඩු විරෝධී ප්‍රගතිශීලීන්ගෙන් ඉල්ලනවා, ළඟ පිකප් පාර්ශ්වයන් එක්ක ගනුදෙනු කරනකොට විචාරශීලීව ගනුදෙනු කරන්න කියල. නැත්නම් වෙන්නේ, “ඔන්නොහෙ කමක් නැහැ“ කියල එන එන විදිහට උළුවස්ස ගහන්න. එතකොට පරක්කු වැඩිවෙන්න පුළුවන්. අපි භෞතිකවාදීන්ට මතක් කරන්න කැමතියි දෙයියන්නාන්සේ කවදාවත් ඕගොල්ලන්ගේ පැත්තේ නොහිටිය බව. දැන් ඉන්නවා වගේ පේනවා නං ඒකට හේතුව `පොඩ්ඩක් කල්පනා කරලා` බැලිය යුතු බව. 

    – තාරක  

  • රෝමන්තිකයා සහ යක්ෂයා අතර මනුස්සයා ! ඇල්බොරාදා  ගැන BALTIMORAගේ අදහස..

    රෝමන්තිකයා සහ යක්ෂයා අතර මනුස්සයා ! ඇල්බොරාදා  ගැන BALTIMORAගේ අදහස..

    හඳගමගේ අලුත් ෆිල්ම් එක ගැන ලොකු ඩිබේට් එකක් විචාරකයෝ අතර සිද්දවෙනවා වගේ පෙනුනත් ඒ ෆිල්ම් එක බලන්න ප්‍රේක්ෂකයෝ ෆිල්ම් හෝල්වලට නොඑන එක ඛේදවාචකයක්. ලංකාවේ කල්චරල් ඉන්ඩස්ට්‍රී එකේ අවුල තමයි ඒ පේන්නේ. ඒක වෙනම කතාවක් නෙමෙයි එකම කතාවක තව පැත්තක්. ඒ ගමන්ම තව දෙයක් කියන්න ඕන. ෆිල්ම් බලන්න හෝල්වලට එන සෙට් එකෙනුත් එක සෙට් එකක් හෝල්වලට එන්නේ ලව් කරන්න. තවත් සෙට් එකක් ෆිල්ම් එක බලනව වෙනුවට ෆිල්ම් එකේ තැනින් තැනින් වීඩියෝ කරනවා ෆොටෝ ගන්නවා එක විකාරයයි. මොබයිල් ෆෝන් එක කියන ඩිවයිස් එක ලංකාවේ ග්‍රවුන්ඩ් එකේ මොනතරම් විකාරයක් වෙලාද කියන එකට හොඳම එක්සාම්පල් එකක් ඒ. 

    ෆිල්ම් බැලීම වෙනුවට ෆිල්ම්  බලන එක අනිත් අයට කීම තමයි ඉම්පෝටන්ට් වෙලා තියෙන්නේ. වොචින් ඇල්බොරාදා විත් ෆ්‍රෙන්ඩ්ස් ඇට් පී වී ආර් කියල ෆේස්බුක් එකේ දැම්මම ඇති කියල හිතන සොසයිටි එකක චින්තන ධර්මදාසලා විදර්ශන කන්නගරලා මහන්සි වෙලා කරුණු හොයල ස්ටඩි කරලා මරාගෙන මැරෙන වාද විවාද කරන එක යූස්ලස් කියල කවුරුහරි කිව්වොත් කරන්න දෙයක් නැහැ. හඳයගේ ෆිල්ම් එකක් බලන්න එන ක්‍රවුඩ් එක අතරෙත් එහෙම බුවාලා ඉන්නවා කියන එක ෂොක් වෙන කාරණාවක්. සමහර උන්ට ඕන ෆිල්ම් එකේ කෑල්ලක් වීඩියෝ කරගෙන ගිහින් යූ ටියුබ් දාල කීයක් හරි හොයාගන්න. වට්ද හෙල් ඉස් දිස් ?

    චින්තා කියන විදිහට නෙරුදාගේ රෝමාන්තික ජීවිතය හඳයා කක්කා බාල්දියක් කරලා. මොඩර්න් එතික්ස් වලින් අතීතය ජජ් කරන්න ගිහිල්ලා වැඩේ අවුල් කරලා. කන්නා කියන විදිහට චීන්තගේ අදහස මරිමෝඩ අදහසක්. එහෙමනං ඉතින් යටත් විජිත යුගය ගැනත් මුකුත් කියන්න වෙන්නේ නැහැයි කියල කන්නා කියනව. මේ අදහස් දෙකට ඔහොම පවතින්න දීලා BALTIMORA කැමතියි ඇල්බොරාදා ගැන මැද්දෙන් පාරක් හදාගන්න. BALTIMORAට අනුව හඳයා නෙරූදව දෙකට මැදින් ඉරනවා. එහෙම ඉරනකොට නෙරූදා ඇතුලේ ඉන්න දෙන්නෙක්ව පේනවා. රෝමන්තිකයා සහ යක්ෂයා. මනුස්සයා තුළ සිටින රෝමන්තිකයා සහ යක්ෂයා. 

    මිනිස්සුන්ගේ (විශේෂයෙන්ම ආට් ඇන්ඩ් කල්ච ඇතුලේ කරක්ගහන මිනිස්සුන්ගේ) ඇතුලාන්තය නෙරූදා හරහා හඳයා ඉරල පෙන්නනවා, සමහරවිට එහෙම කරන්න තරම් ආත්මීය හේතු හඳයට තියෙනවද කියල BALTIMORA  දන්නෙ නැහැ. ඒක අදාළත් නැහැ. වැදගත් වෙන්නේ හඳයා අපිව ඉරලා පෙන්වනකොට අපිට අපිව කොච්චර පේනවද කියන එකයි. අප තුළ ඉන්න රෝමන්තිකයා සහ යක්ෂයා ගැන අපි කොන්ෂස් ද කියල අහන එක ෆිල්ම් එකක් ක්‍රිටිසයිස් කරනවාට වඩා සොසයිටි එක ඇතුලේ ලයිෆ් ප්‍රැක්ටිස් කිරීම කියන පැත්තෙන් ඇල්බොරාදා ගේන වයිබ්‍රේෂන් එක පවර්ෆුල් කියලයි BALTIMORAට හිතෙන්නේ. 

    අනෙක් අතට.. රෝමන්තිකභාවය සහ යක්ෂභාවය කියන අන්ත දෙක මොන තරම් ඈතින් ප්ලේස් වෙලා තිබුණත් මනුෂ්‍යත්වය ඇතුලේ ඒ දෙක එකිනෙකට පෝෂණය නොකරන්නේද කියන කියල ඇල්බොරාදා අපෙන් අහනව. ඒක දයලෙක්තික සම්බන්ධයක්. රෝමන්තිකයා නැති තැන යක්ෂයා නැහැ. යක්ෂයා නැති තැන රෝමන්තිකයාත් නැහැ. නෙරූදා හරහා දෙස් විදෙස් සාහිත්‍යකරුවන් දසදහස් ගණනක් කියවන්න බැරිද ? නම් ගම් වාසගම් මොකටද ? මතක් කරලා බලන්න. අපි හැමෝගෙම ජීවිත ඇතුලෙ – ආත්ම ඇතුලෙ එකිනෙකට පේන මානයේ තැන් දෙකක රෝස මලක් සහ කක්කා බාල්දියක් ප්ලේස් වෙලා තියෙනව. ඒ ලස්සන-අවලසන්න චිත්‍රය සිනෙ- ඩ්‍රාමා එකකින් අඳින්න අසෝක හඳගම ට්‍රයි කරලා තියෙනවා. දැට්ස් ඉට්  !

    – BALTIMORA