විලාකටුපොත හන්දියෙ තඩි බැනර්රෙද්දක් ගැට ගහලා.
“තුන්බිය දුරු කිරීම සඳහා රතන සූත්‍රය සියක් වාරයක් ජීවම් කළ සුර සහ තඹ පත් ඔබත් ලබාගන්න”
පොළට ගිය අම්මණ්ඩිලා අර ජප කොරපු එක ගන්ඩ පොර කනවා.කන්ඩ හාල් ඇටයක් නැතුව බඩේ හේවිසි වදිනවා.හේවිසි හඬ මැද්දෙන් සාදුකාර ඇහෙනවා.මායි නිමලෙයි දෙන්නත් ඒක ගන්ඩ වාගෙ කැරකි කැරකි ඉඳලා ගන්නැතුව පම්මල්ල වන වනා ආපහු එද්දි රතන සූත්තර මුදලාලි මෙහෙම කියනවා ඇහුණා.
“අන්නියාගම්කාරයෝ”
ඒ මොකද්ද කියලා අහනේක පැත්තක තියලා මායි නිමලෙය දෙන්නා ගෑටුවා සැල්ටොංගෙ බාර්රෙකට.බඩුගණං අහන්ඩ ගෙහුං උඩ ගෙහුං බිම වැටෙනවට වඩා හොඳයි අතේ තියන එකෙං සොට් එකක් දාගෙන තුන්බියට සාප කොරමින් ගෙදර යන එක.
මග දිගට මහදවාලෙත් ලවුස්පීකර..ඒවං මේසුතං ඒකං සමයං…යානීද බූතානි සමාගතානි…..
.පිරිත් සද්ද දෝරෙ ගලනවා.ගෙදර උන්දලා තියන හාල්ලැට දෙක රත්කරන්ඩ ලෝබකොමේ පිරිත් අහගන හූල්ලා හූල්ලා ඉන්නොවා.
ඩබලක් දාගෙන අපි පයිම්ම ගෑටුවා ගෙදෙට්ට.
“ඈ බං නිමලෙ.මොකද්ද හැබැහැට ඔය තුන් බිය කියන්නෙ.”
මං නොදන්න කොමට ඇහුවා.
‘”විසාලා මහනුවර නම්,රෝබිය,සාගත බිය,මරණ බිය කියලා සමහරු කියනවා””එතකොට අපේ මහනුවර?’
“ආ ඒකෙ නං දුම් බිය,නාය බිය,අලිබිය කියන්න පුලුවං.”
“දැං අලිබියක් නෑනෙ”
“ඇයි පෙරහැරේ අලි කුලප්පු වන බ්ය?”
“එතකොට අපේ රටේ තුන් බිය මොකද්ද?”
‘”හම්මෝ….තුන් බියෙං දෙකක් කීවැකි.අනික කිව්වොත් එලිවෙනකොට එක්කො මැරිලා.එක්කො හිරේ.”
“හා එහෙනං දෙකක් කියහන්කො”
“සිලින්ඩර බිය,දියර පොහොර බිය………..”
“ඒ කියන්නෙ?”
“සිලින්ඩර පුපරනව.දියර පොහොර පුපුරනව.මරන බිය නිකම්ම එනව.”
“අනෙක් බිය කියන්ඩම බැරිද?”
“හම්මෝ බෑ.අරුව පිපිරුණාම දුවලා හරි බේරුණා කියමුකො.මේක පිපිරුණහම බත් කාලා හමාරයි.”
“කාටද එහෙම වෙලා තියෙන්නෙ?”
“තාජුඩින්,ලසන්ත,පල්ලියට ගිය අහිංසකයො”
“ෂ් කට….කට…….කට……..ගෙදර ගිහිං බත් කාලා බුදියගනිං.නින්ද යන්නැහ්නං රතන සූත්තරේ අහපං”,
තුන් බිය දුරු වේවායි පතාගෙන බූරු ඇඳට වැටුණා.
“අදත් හුජ්ජ බීලාආවද කාලකන්නියා.මට පිරිත් ටිකක් අහගන ඉන්ඩ නෑ.දොරවල් අරින සද්දෙට”
අපේ මායියා නොහොත් සිව් වැනි බිය කඩාපාත් වුණා.
TB