සකල කලා දිග් විජය කළ ශ්‍රී ලාංකේය ගීත සාහිත්‍යයේ රූපක රචකයා වශයෙන් සම්භාවනාවට පාත්‍ර ලූෂන් බුලත්සිංහලයන්ගේ 79 වන ජන්ම දින සැමරුම අද (30) දිනට යෙදී තිබේ.
සිනමාව වේදිකාව හා රූපවාහිනිය යන දෘෂ්‍ය මායාවන් සියතට ගත් කලාසූරී රයිගම බුලත්සිංහලගේ ලූෂන් පෙරේරා හෙවත් ලූෂන් බුලත්සිංහල ගේය පද රචකයෙකු, අධ්‍යක්ෂකවරයෙකු, රචකයෙකු සහ වේදිකා නාට්‍ය නිෂ්පාදකවරයෙකු ජනාදරයට පාත්‍ර වූ හෙළයේ පිනට පහළ වූ සබුද්ධිමත් නිර්මාණකරුවෙකි.
1943 මැයි 30 වන දින, රත්මලාන වෙඩිකන්ද වෙරළබඩ ගම්මානයේදී උපත ලැබු ලූෂන්ගේ වූයේ පියා රයිගම බුලත්සිංහලගේ මාර්ටින් පෙරේරාය. ඔහු කැපවූ සමාජවාදියෙකි. ඔහුගේ මව සෙනරත් ගොඩගේ ජේන් නෝනා නම් විය. සිය මුලික අධ්‍යාපන කටයුතු රත්මලාන ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයෙනුත්, උසස් පෙළ කටයුතු දෙහිවල මධ්‍ය මහා විද්‍යාලයෙනුත් හැදෑරූ බුලත්සිංහල මහතා 1963දී උසස් පෙළ විභාගය සමත් විය. පසුව පේරාදෙණිය විශ්ව විද්‍යාලයන් ශාස්ත්‍රවේදී උපාධියක්ද හිමි කර ගත්තේය. පැවැති ආර්ථික දුෂ්කරතාවන් හේතුවෙන් ලිපිකරු විභාගය සමත්ව අඹේවෙල රජයේ ගොවිපළේ ලිපිකරු ලෙස වැඩ භාර ගනිමින් සිටියදී සිය ශාස්ත්‍රවේදී උපාධියද නිම කිරීමට ඔහු ධෛර්ය සම්පන්න විය. ඔහු ප්‍රකාශ කරන්නේ එදා අඹේවෙල සත්ව ගොවිපලේ දී තමන්ට හමු වූ වේලුපිල්ලේ ආරුමුගම් නම් මානව හිතවාදී උදාර මිනිසා නොවන්නට ලූෂන් බුලත්සිංහල නම් කෙනෙක් නොමැති බවයි. එය ඔහුගේ වචනයෙන් ම මෙසේය.
‘ඔබේ වර්ගයට අයත් නොවේදැයි කියා වර්ගවාදී ඇසකින් අනෙකා දෙස නොබලමින් සියල්ලෝම මිනිස් වර්ගයට අයතියැයි උතුම් දහමක ඔබ පිහිටා සිටියේ ය. ඒ නිසා ඔබේම දරුවෙකු සේ සලකා මගේ අනාගත මං පෙත විවර කරගනු පිණිස රාජකාරියේදී ඔබ හට සිදුවන අපමණ දුෂ්කරතා අබැටක් තරමට නොතකමින් සියළු වගකීම් ඔබ පිටම පටවා ගනිමින් මගේ ජීවිත ගමනට ආශිර්වාද කළේ ඔබය. රාජ්‍ය සේවයේදී මට හමු වූ ඒ උතුම් මිනිසා ව ඔබ නොවන්නට අද ලූෂන් බුලත්සිංහල නමින් කෙනෙක් නැත. මගේ දෙමාපියන් නමදින බැති සිතින්ම මම ඔබ නමදිමි. 1964 දී අඹේවෙල සත්ව ගොවිපොලේ කළමණාකාරතුමා වූ වේලුපිල්ලේ ආරුමුගම් නම් වූ ඒ මානව භක්ති පූර්ණ මිනිසාණෙනි මගේ හෘද සාක්ෂියේ නිර්මාණය ඔබහට පූජා කරමි. පූජා වේවා’ – (ලූෂන් බුලත්සිංහල – පෙරවදන – වෙස්මුහුණ ගලවන්න කෘතිය)
ලුෂන් බුලත්සිංහලයන් කලාවට අත්පොත් තබන්නේ සිය පාසල්වියේදීමය. 1960 දශකයේ ලුම්බ්ණි රඟහගේ රඟදැක්වූ එවකට විභාග කොමසාරිස් එල්.එල්.කේ ගුණසේකර අධ්‍යක්ෂණය කළ අශෝකමාලා ඛේදවාචක නාට්‍යයේ ‘‘සාලිය’’යන ප‍්‍රධාන චරිතය වෙනුවෙන් ඔහු මුලින්ම සිය රංඟ කෞෂළ්‍ය විදහාලනු ලැබීය. 1966 වසරේ බන්දුල ජයවර්ධන නිෂ්පාදනය කළ බිහිවන ”බෝසතාණෙනි” නාට්‍යයේ රඟපාමින් රාජ්‍ය නාට්‍ය උළෙලේදී කුසලතා සම්මානයක් ද ලබා ගත්තේය. ඉන්පසු ඔහු එදිරිවීර සරච්චන්ද්‍රගේ එලොව ගිහින් මෙලොව ආවා නාට්‍යයේ රඟපෑ අතර පේමතෝ ජායති සෝකෝ නාට්‍යයේ වාද්‍ය වෘන්දයේ බටනළා වාදකයෙකු ලෙසද කටයුතු කරනු ලැබීය.
ඔහු ශ්‍රී ලාංකේය නාට්‍ය ක්ෂේත්‍රය තුළ ලූෂන් නාමය දිග් විජය කළ නිර්මාණකරුවෙකි. ඔහුගේ මුල් ඇත්තේ වේදිකාවේය. ඒවා ශ්‍රී ලාංකේය ප්‍රාසාංගික වේදිකා ඉතිහාසය තුළ නොමැකෙන සිහිවටනය.
1964 වසරේ ඔහු නිර්මාණය කරන ලද ”නොනිවෙන ගිනි” වේදිකා නාට්‍ය රාජ්‍ය නාට්‍ය උළෙල දක්වා යාමට සමත් විය. එය 1966 රාජ්‍ය නාට්‍ය උළෙලේ ආරාධිත නාට්‍යයක් ලෙස රඟ දැක්වීමට පවා ආරාධනා ලැබිණි.
ඔහු විසින් 1974 දී නිෂ්පාදනය කළ ”රතු හැට්ටකාරී” වේදිකා නාට්‍යය අතිශය ජනප්‍රිය නාට්‍යයක් බවට පත් වූ අතර සම්මාන උළෙල කිහිපයකදී විචාරක පැසසුමට ලක්විය. 1974 රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම පිටපත රචනාව, හොඳම සංගීතය, හොඳම නළුවා සහ හොඳම රංගනය සඳහා වූ සම්මාන දිනාගනු ලැබීය. ‘රතු හැට්ටකාරී’ අර්ධ ශෛලිගත හෝ සංගීතමය නාට්‍යයක් යැයි කිව හැකිය. සංගීතය ඔස්ටින් මුණසිංහගෙනි. ‘දීකිරි දීකිරි’, ‘යස ඉසුරු පිරුණු තැනා’ වැනි ගීත මෙයට ඇතුළත් වූ අතර එම ගී අදටත් ජනප්‍රියය. 1981 දී ඔහු නිෂ්පාදනය කළ තාරාවෝ ඉගිලෙති ජනප්‍රිය වේදිකා නාට්‍යය ඔහු මෙරට හොඳම නාට්‍යකරුවෙකු බවට පරමාදර්ශයක් ඇති කිරීමේ ලා සමත් විය. නාට්‍යයේ මංගල දර්ශනයට විශේෂ ආරාධනයක් සහිතව පැමිණි එවකට ගුවන් විදුලියේ අධ්‍යක්ෂ ජනරාල් ඒමන් කාරියකරවන ගුවන් විදුලි සංස්ථා සුබ සාධක සංගමයට ආධාර පිණිස ලංකාවේ නගර 10ක දර්ශනවාර 10 පෙන්වීමට අවශ්‍ය ප්‍රචාරණ කටයුතු ලබා සෙනු ලැබීය. ඒ අනුව මෙම නාට්‍ය රසිකයන් අතරට වඩ වඩාත් යාමට සමත් විය.
”සෝබාව දේ
මෙපුර සිරි විසිතුරු බලනු මිතුර
මග පියකරුවු
සුසුදු වලා කැරලි පලසකි මේ මග දිග ඇතුරු
අහස සූරන මැදුරු……..”
‘තාරවෝ ඉගිලෙති’ (1981) ලූෂන්ගේ වඩාත්ම ජනප්‍රිය නාට්‍යය යැයි සිතමි. මෙයට ඇතුළත් වුයේ රෝම නාට්‍ය රචක ප්ලෝටස්ගේ ‘ද ට්වින් මිනැක්මි නම් නාට්‍යයේ ආ කතාවයි. එමෙන් ම රෝම නාට්‍යයක් සිංහල වේදිකාවට ගෙන ආ මුල්ම අවස්ථාව මෙයයි.’තාරාවෝ ඉගිලෙති’ හොඳ අනුවර්තනයක් ඉදිරිපත් කරන්නේ කෙසේදැයි අපට උගන්වන අගනා අභ්‍යාසයකි. ප්ලෝටස්ගේ නාට්‍ය ශෛලියේ හොඳම අංග නිර්මාණාත්මකව යොදාගෙන ඇති අතර ප්ලෝටස්ට ගුරු වූ ග්‍රීක නාට්‍ය ශිල්පයේ සංගීතමය අංග බඳු කොටස් ද නූතන සංගීත නාට්‍යයකට හුරුව යොදා ගැනීමෙන් බුලත්සිංහල, ප්ලෝටස් නමැති අනුකාරකයා ද තවදුරටත් පෝෂණය කරයි. රෝම නාට්‍යයේ ‘කථන ස්වරූපය’ ද නිර්මාණාත්මකව කටට කැපෙන සංවාද සේ දේශීය පරිසරයට මනාව ගලපා අගනා ලෙස යොදාගෙන තිබේ.’ – සයිමන් නවගත්තේගම
අනතුරුව 1987 වසරේ ඔහු අධ්‍යක්ෂණය කළ ‘තාරාදේවී’ ටෙලි නාට්‍යය 1987 විජය රුපවාහිනි උළෙලේ සම්මාන එකොළහෙන් නවයක්ම දිනා ගන්නට සමත් විය. වසර 31ක දිගු නිහැඬියාවකින් පසු ඔහු 2018 වසරේ වෙස් මුහුණ ගලවන්න වේදිකා නාට්‍යය නිෂ්පාදනය කළේය.
ඔහුගේ නාට්‍යවල ගැයුණු ගීත අතිශයින්ම ජනප්‍රිය ගීතයි. එම නාට්‍යවලට ලියැවෙන පද රචනා දෙස බැලීමේදී උපහාසය උත්ප්‍රාසය මුසු වඋ ව්‍යංගාර්ථ මෙහි සුවිශේෂී වේ.
ඔහුගේ නාට්‍ය ගීත අතිශයින් ජනප්‍රිය වීම හේතුවෙන් සරල ගීත වෙනුවෙන් ද නිරන්තර ආරාධනා ලැබිණ.
1971 වසරේදී ඔහු ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට සම්බන්ධව නිවේදකයෙකු සෙල සේවය කරන ලදි. පසුව ජාතික රූපවාහිණියටද සම්බන්ධ විය. 1990 වසරේදී දේශපාලනික පළිගැනීම් මත රාජ්‍යසේවයෙන් නෙරපා හරින ලදි. රූපවාහිණියේ සේවය කරමින් සිටියදී දෙවතාවක් වැඩ තහනමට ලක් වූ ඔහු 1997 සිට අනිවාරිය නිවාඩුයවා ඇත. ලූෂන් බුලත්සිංහල සිය වෘත්තීය ජීවිතය තුළ අතිශය අසාධරණයට ලක් වූ පුද්ගලයෙකි. එතුමන් සම්මුඛ සාකච්ජා කිහිපයකදීම කියා ඇත්තේ අතීතය පිළිබඳ තමන්ට යම් සතුටක් වේ නම් ඒ හෘද සාක්ෂියට අනුව කටයුතු කිරිම බවයි.
ඔහු ශ්‍රී ලාංකේය චිත්‍රපට ක්ෂේත්‍රය තුළ ද සිය රංගන ප්‍රතිභාව ප්‍රදර්ශනය කිරීමට සමත් රංගධරයෙක් විය. ඔහු සිය රංගන කුසලතාව පුදර්ශනය කළ සිනමා නිර්මාණ අතර (1967)සැඩොල් කඳුළු (1970) වෙස් ගත්තෝ (1979)හත්දින්නත් තරු (1979)චූඩා මානික්‍ය (1980) දඬු මොණරා (1980)හංස විලක් (1981) ආරාධනා (1982)සිටු දියණිය (1984)කිරි කවඩි (2008) අබා (2014) හෝ ගානා පොකුණ යන සිනමා නිර්මාණ වෙනුවෙන් සිය දායකත්වය ලබා දීමට එතුමන් සමත් විය.
”අසංවාදී සුසුම් වේගේ රිද්මයෙන්
වයන්න වීනා
කණ්‍යාවී…. ”
ලූෂන්ගෙන් තොරව ශ්‍රී ලාංකේය ගේයපද රචනා සාහිත්‍ය පිළිබඳ සාකච්ජා කිරීම උගහටය. ඔහු සිය මුල්ම ගීතය 1980 වසරේ නන්දා මාලිනිය වෙනුවෙන් සඳුන් සිහින මණ්ඩපයේ නම් ගීතය රචනා කරන්නට විය. 1989 වසරේ දී සිරි මැදුර චිත්‍රපටයේ “මරණ තුනක් ඇති මිනිසා” ගීතය වෙනුවෙන් ඔහු ස්වර්ණ සංඛ සහ සරසවිය සම්මාන දෙකම දිනා ගත්තේය. ඉන් අනතූරුව 1994 වසරේ මී හරකා චිත්‍රපටයේ “ගෝපළු වස් දන්දෙන්” ගීතය වෙනුවෙන් ස්වර්ණ සංඛ සම්මානය හිමි කර ගැනීමට ඔහු සමත් විය. ඉන්පසුව 1998 වසරේ ගිනි අවි සහ ගිනි කෙළි චිත්‍රපටිය වෙනුවෙන් නිර්මාණය කළ නොසෙලයි දිවි මකුළු ඇස ගීතය වෙනුවෙන් හොඳම ගී පද රචකයාට හිමි ජනාධිපති සම්මානය දිනා ගත්තේය.
”රිය ඇතුලේ උණුසුම ඔබට දිදී
නහවයි මා රියසක මඩවතුරේ
නෑ හිත රිදුනේ අදත් එදා සිහිවී
අපේ සබඳකම් නෑ රියසක දන්නේ……”
ඔහු විසින් නිර්මාණය කරන ලද ගීත එකක්ට එකක් වෙනස් ආරක් ගත් ප්‍රශස්ත මෙන්ම හරවත් නිර්මාණ වේ. ඒවා රසිකයන් අතර සදා නොමැකෙන සිහිවටන වේ. දීකිරි දීකිරි ගෙනාවා දීකිරි , මිනිසා මරණ තුනක් ඇති මිනිසා, කොළොම්තොට නැත මහළු වී, අම්මා නැති මට කිරි අම්මා වී, රජ මැදුරක ඉපදී සිටියා නම්, පිපුණු මගේ රුව එමල දනීදෝ, සුභ ප්‍රාර්ථා කියමන්, ඔසරි පොටින් අදින්නෙපා , දෙතොල නොකී දේ, සුදු නැන්දා ඇයි, මුතුකුඩ ඉහලන මල් වරුසාවේ, අහසින් තරුවක් කඩා වැටෙනවා, සැන්දෑ අහස වගේ, මේ ගඟ මේ දුරු කතර ගෙවා, සිරි යහනේ ලණු ඉහිරී, විදුලි මිණි පහන්, නොසැලෙයි දිවි මකුළු ඇස නොසැලෙයි, දම්පාටින් ලා සඳ බැසයනවා, සෝබාව දේ මෙපුර ආදී නිර්මාණ අද මෙන් ම හෙටටත් සුවහසක් සහෘදයන් අතර සදාකාලික සිහිවටන වනු ඇත.
”මෝරා හද ගැබ පෙම්මල් නැහැ පිපුනේ
ඉහිලා බදවට ගෝමර ලතවන්නේ
බාල යොවුන් හද වැහැරී ගෙයි ඇතුලේ
මා ලද ශිල්පද නුබ හා එක මුල්ලේ…..”
ලූෂන් බුලත්සිංහල හා ප්‍රේමසිරි කේමදාස අතර සුසංයෝගයද මෙහිලා සුවුශේෂයෙන් සඳහන් කළ යුතුය. සිරි මැඳුර චිත්‍රපයේ කණ්‍යාවී වෙනුවෙන් ගෙනෙන ස්වර මාධූර්යේ උත්පත කේමදාසයි. ලූෂන්ගේ ගේය රචනාවේ බර දරා උසුලා නම්‍යවූ ද සුනම්‍යවු ද සුඛනම්‍යවු ද සංගීත සංයෝජනයක් කරනු ලැබුවේ කේමදාසයි. එයින් අනතුරුව කේමදාම ශූරීන්ගේ ඔපෙරා දෙකක පිටපත් රචකයා වීමේ භාග්‍ය ලූෂන් සතු විය. එනම් දොරමඬල හා සොඳුර වර්ණදාසීය යන් ඔපෙරා නාට්‍යයේ පිටලත් රචකයා වූයේ ලූෂන් ය.
ලූෂන් බුලත්සිංහලයන් විසින් සංස්කරණය කරන ලද ග්‍රන්ථ කිහිපයකි. 1985 වසරේදී ඔහු විසින් ” පිපුණ මලේ රුව” කෘතියද 2000 වසරේ දී ”කේමදාස න්‍යාය භාවිතය හා අරගලය” යන කෘතියත් 2004 වසරේදී ”සිහින ඔපෙරා දෙකක්” මෙන් ම 2004 වසරේ දී සංස්කරණය කරන ලද ”තාරාවෝ ඉගිලෙති”(නාට්‍යය) කෘතියද මෙහි ලා සඳහන් කළ හැකිය.
ශ්‍රී ලාංකේය සාහිත්‍ය, වේදිකාව හා ගේය පද නිර්මාණ කලාව වෙනුවෙන් අනගි මෙහෙයක් කළ ලූෂන් බුලත්සිංහලයන්ට සුබ උපන්දිනයක් වේවා යැයි පතමු. එමෙන් ම තවත් චිරාත් කාලයක් රසික සිත් නිවන්නට, නිවා සනහන්නට, සනහා සුවපත් කරන්නට හැකි වේවා යැයි පතමු.
- සෂිකලා මධුෂාණි