වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති පදවියට පත් වීමත් එක්ක පැතිර ගිය තාප්ප පුවරු ග්‍රැෆිටි සිත්තම් රැල්ලේ ප්‍රධාන තේමාව වුණේ අපේ රටේ අනාදිමත් කාලයක රජකම් කළ බව පැවසෙන රාවණා රජතුමායි.
මීට දශක කීපයක් දක්වාම අපේ සමාජයේ පරමාදර්ශී රාජ චරිතය වුණු දුටු ගැමුණු රාජ චරිතය ඉක්මවමින් රාවණා ප්‍රතිරූපය ඉස්මතු වීම අපේ සමාජයේ ආකල්ප විපරිනාමයක් බවයි මගේ පෞද්ගලික විශ්වාසය.
නමුත්, මීට දශක කිහිපයකට කලින් අද වගේ රාවණා උනන්දුවක්, ප්‍රබෝධයක් උන්මාදයක් තිබුණෙ නැහැ. අනික ඉතා මෑතක් වන තුරුම අපේ ජන සමාජය හඳුනා ගෙන හිටියේ රාවණා මහා බලවත්, නමුත් නපුරු දුෂ්ට රජෙක් විදිහටයි.
දහ අට වැනි සියවසේ දී විතර ලියැවුණු රාජාවලිය කියන සුප්‍රකට අපේ වංශකතා පොතේ ඉතා පැහැදිලිවම තිබෙනවා; අතීතයේ රාවණාගේ අධර්මිෂ්ඨකමක් නිසා ඔහු ජීවත් වුණු රාවණා කෝට්ටෙත් එක්ක පහන් තුඩුවක් වගේ තියන මන්නාරමත්, තූත්තුකුඩියත් අතරේ තිබුණු මාලිගා විසි පහකුත් වීදි හාර ලක්ෂයකුත් මුහුදට බිලිවුණා කියලා.
නමුත් රාවණා ගැන අතීත සමාජයේ තිබුණු ඒ නරක අයහපත් ආකල්ප පසුගිය කාලයේ සුළි සුළඟකට අහු වුණු මකුලු දැල් බවට පත් වුණා .එහෙම නම් අද මිනිස්සුන්ට රාවණා වීරයෙක් වුණේ කොහොමද ?කියන ප්‍රශ්නය ඊළඟට මතු වෙනවා .
විසිවන සියවසේ මුල් භාගය වෙන තුරු අපේ රටේ රජ වෙලා තිබුණු ආර්ය සිංහල මතවාදයට සමාන්තරව පස්සේ ටිකෙන් ටික ‘හෙළ’ මතවාදයකුත් ගොඩනැගි ඇත. තියඩෝර් ජී. පෙරේරා පියතුමා වගේ භාෂා ශාස්ත්‍ර විශාරදයන් අරඹපු මේ ගමනට මුණිදාස කුමාරතුංග වගේ පඬිවරුන්ගෙන් නව ජවයක් ලැබුණා. නමුත් ඒ අය රාවණා මුල සිටම හඳුනා ගත්තේ භාෂාත්මක සහ මානව විද්‍යාත්මක මුහුණු වරින් මිසක් ඓතිහාසික මුහුණු වරකින් නොවෙයි.
ඔය අතරේ 1983 ඇරඹුණු එල්.ටී.ටී.ඊ. යුද්ධයත් එක්ක තමයි අපේ රටේ සිංහලයන් අතරේ තිබුණු රාවණා සංකල්පයට අමුතුම පණක් ලැබුණේ.කාටත් වැටහෙන විදිහට කිව්වොත් රාවණා කියන්නේ ජාති මාමකත්වය ගොඩ නංවන දුටු ගැමුණු කිය්න එන්නතට අමතරව ලැබුණු ජාතිවාදී බූස්ටර් එන්නතක් යුද්ධයක් වගේ තත්වයකදී ඒ රටේ ජනතාවගේ මානසික පසුබෑමක් ඇති වෙනවා.
ඒ නිසාම ඒ මානසිකත්වය නැවත ගොඩනඟා ගන්න පරමාදර්ශ වුවමනා වෙනවා. රට, ජාතිය සහ බුදුසසුන බේරා ගැනීම සම්බන්ධ අපේ රටේ අසමසම පරමාදර්ශය තමයි දුටුගැමුණු. නමුත් අපේ රටේ ජීවත් වුණු බව කියන රාවණා බෞද්ධයෙක් නොවෙයි. නමුත් ඔහු අනාදිමත් කාලයකට පෙර ගුවන් යානා තාක්ෂණයක් පවා භාවිතා කළ මහා බලවතෙක් බව අපේ රටේ ජනතාව විශ්වාස කළා.අන්න ඒ හින්දා තමයි මම රාවණා ප්‍රතිරූපය ඉහළ නැංවීම බූස්ටර් එන්නතකට උපමා කළේ.
නමුත් රාවණා කියන්නේ අතීත සමාජයේ යුග නිරූපණය පිළිබඳ ප්‍රබල ප්‍රපංචයක් මිසක් පුද්ගලයෙක් නොවෙයි. නමුත් එල්.ටී.ටී.ඊ. යුද්දයෙන් පසුවත් නැවත නැවත පුනර්ජීවනයට ලක්වෙන මේ රාවණා සංකල්පය අද බරපතල විදිහට අවභාවිතා වෙනවා. අද රාවණාගේ නමින් විදේශීය රටවල ජීවත් වන සිංහලයන් පවා සංවිධාන පිහිටුවා අරමුදල් එක්රැස් කරනවා.
ඒවා කුමක් සඳහා භාවිතා වෙනවාද යන්න ගැටළුවක්. ඒ අතරේ රාවණා න්‍යෂ්ඨික බලය භාවිතා කළා, අඟහරු ලෝකෙත් එක්ක පවා සම්බන්ධතා පැවැත්වුවා වගේ ඔල්මොරොන්දම් කතා පවා ජනමාධ්‍යවලින් පැතිර ගියා.
ඒ විදියට සාමාන්‍ය ජනතාව තුළ රාවණා උන්මාදයක් ඇති වෙලා තියන නිසා අද මානසික රෝග වාට්ටු වලින් පවා තමන් රාවණා යැයි කියා ගන්නා රෝගීන් ඉහළ ගොස් ඇති බව වාර්තා වෙනවා.රාවණා ගුරුකම්, රාවණා වෙදකම් වගේ දේවල්වල කිසිම ශාස්ත්‍රීය පසුබිමක් නැහැ. අනික මීට අවුරුදු පණහකට, හැටකට කලින් දේවල් මතකයෙන් කියන්න පුළුවන් කෙනෙකුගෙන් අහන්න,ඒකාලේ රාවණා වෙදමැඳුරු තිබුණද කියලා. අද බස් හෝල්ට් එකෙන් හෝල්ට් එකට රාවණා වෙදමැදුරු, ඔසුහල්, පහුගිය දවසක ගම්පහ ප්‍රදේශයේ රාවණා වෙද මැදුර නමින් මසාජ් ක්ලිනික් එකකුත් පටන් අරන් තිබුණා. බලන කොට ඒක ගණිකා මධ්‍යස්ථානයක්. ඔන්න පහුගිය කාලේ රාවණාට අත්වුණු ඉරණම.
නමුත් අද වෙන කොට සමාජයෙන් ඒ රාවණා; උන්මාදය වේගවත් පසු බෑමකට ලක් වෙනවා.ඒ දේශීයත්වය;රාවණා බලය පදනම් කර ගනිමින් බලයට පත් වුණු වත්මන් ආණ්ඩුවේ අවිචාරවත් ක්‍රියාවන් නිසා පසු ගිය කාලයේ ගොඩ නැඟුණු රාවණා පිළිබඳ දැවැන්ත ප්‍රතිරූපයට බලවත් සේ හානි පැමිණීම නිසයි.කොවිඩ් එන්නත් අතරට එක් කළ බූස්‍ටර් එන්නතේ බලය ගැන කියන්න නම් මම මෙලෝ හසරක් දන්නේ නෑ.
ඒත් පසුගිය කාලේ ජන හදවත් තුළට එන්නත් කෙරුණු කිසිදු පදනමක් නැති රාවණා බූස්ටර් එන්නතේ මායාකාරි බලය නම් මේ වෙන කොට වේගයෙන් සිඳී යන බව ඒකාන්ත වශයෙන්ම කිව යුතුයි.
තිලක් සේනාසිංහ