නිදහසින් පසු අපේ රට මුහුණ දී ඇති දැවැන්තම අර්බුදකාරී තත්ත්වය යටතේ දී වුවත්, මෙරට පොදු ප්‍රවාහන ක්ෂේත්රය නඟාසිටුවීමට ඉන්දීය රජයෙන් ලැබෙන සහයෝගය ඉතාමත් ප්‍රශංසනීය යැයි ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කීවේය.
උතුරු දුම්රිය මාර්ගයේ මහව සිට ඕමන්ත දක්වා කොටසේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීම වෙනුවෙන් මැදවච්චිය දුම්රිය ස්ථාන පරිශ්‍රයේ පැවති සමාරම්භක උත්සවයට එක්වෙමින් ඇමැතිවරයා මේ බව පැවසීය.
මහව සිට ඕමන්ත දක්වා දුම්රිය මාර්ගයේ සිදු කරන මෙම ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ, ඉන්දීය IRCON සමාගම මඟින් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ඒ උදෙසා සිදු කෙරෙන ආයෝජනයෙහි වටිනාකම ඇ. ඩොලර් මිලියන 91.27කි. මෙහි අනුරාධපුර සිට වවුනියාව දක්වා කි. මී.48ක කොටසක් ප්‍රතිසංස්කරණය කෙරෙන අතර මීළඟ අදියර ලෙස වවුනියාව සිට ඕමන්ත දක්වා කි. මී.13ක කොටසක් ප්‍රතිසංස්කරණය කෙරේ.
ව්‍යාපෘතිය අවසන් කිරීමෙන් අනතුරුව පැයට කිලෝ මීටර් 100ක වේගයෙන් දුම්රිය ධාවනය කළ හැකි වන අතර, කොළඹ සිට යාපනය කන්කසන්තුරේ දක්වා දැනට දුම්රිය මඟින් ගමන් කිරීමට ගතවන කාලය පැයකින් අවම කරගත හැකි වේ. ඊට අමතරව නඩත්තුව අඩු වීම සහ අවම වීම, සුඛෝපභෝගී ධාවනයක් සිදු කළ හැකි වීම, සුවපහසු සුරක්ෂිත ආරක්ෂාකාරී ගමනාන්තයක් මඟීන්ට ලබා ගත හැකි වීම, බුඔය නමින් නව දුම්රිය ස්ථානයක් දුම්රිය පද්ධතියට එකතු වීම ඇතුළු ප්රතිලාභ රැසක් හිමි වේ.
සමාරම්භක උත්සවය අමතමින් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේද කීවේය.
නිදහසින් පසු අපේ රට මුහුණ දී ඇති දැවැන්තම අර්බුදකාරී තත්ත්වය යටතේ දී වුවත්, මෙරට පොදු ප්‍රවාහන ක්ෂේත්රය නඟාසිටුවීමට ඉන්දීය රජයෙන් අපට ලැබෙන සහයෝගය ඉතාමත් ප්‍රශංසනීයයි. 2023 වසරේ ශ්‍රී ලංකාවේ ආරම්භ කෙරෙන ප්‍රථම දැවැන්තම සංවර්ධන ව්‍යාපෘතිය ලෙස මහව සිට ඕමන්ත දක්වා දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය ආරම්භ කිරීමට ලැබීම සුවිශේෂී අවස්ථාවක්. රට තුළ නව ව්‍යාපෘති ආරම්භ කිරීමට කිසිදු හැකියාවක් නොමැති වටපිටාවක් වුවත් ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ උතුරු දුම්රිය මාර්ගයේ පවතින ගැටලු රැසක් නිරාකරණය කිරීම සඳහා මෙම ව්‍යාපෘතිය මඟින් විශාල පිටිවහලක් ලැබෙනු ඇතැයි මා බලාපොරොත්තු වෙනවා.
පසුගිය කාලය පුරා මුහුණ දුන් යුද ගැටුම් හමුවේ මෙම දුම්රිය මාර්ගය ද දැඩි ලෙස හානියට පත්ව තිබුණා. යුද තත්ත්වය අවසන් වීමෙන් පසු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඉල්ලීම පරිදි ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ කන්කසන්තුරේ දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය කරනු ලැබුවා. නමුත් මහව සිට ඕමන්ත දක්වා වන මෙම දුම්රිය මාර්ග කොටස දීර්ඝ කාලයක් තිස්සේ කිසිදු ප්රතිසංස්කරණයකට ලක් නොවූ මාර්ගයක්. එම අඩුව සම්පූර්ණ කිරීම සඳහා මේ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතිය මේ ආකාරයෙන් ආරම්භ කරනු ලබනවා.
ඒ වෙනුවෙන් පසුගිය පස්වැනිදා සිට දුම්රිය මාර්ගය වසා තබා තිබෙන නමුත් මාස 5ක් තුල එහි ඉදි කිරීම් කටයුතු අවසන් කිරීමට ඉදි කිරීම් භාර සමාගම සැලසුම් කොට තිබෙනවා. එම කාලය තුළ ජනතාවගේ ප්‍රවාහන කටයුතු අවහිරයකින් තොරව සිදු කිරීමට ලංගම සහ පෞද්ගලික බස් රථ ඒකාබද්ධව විශේෂ ප්‍රවාහන සේවාවක් සැපයීමට අපගේ අමාත්‍යාංශය සහ අදාළ ආයතන මේ වන විටත් සියලු කටයුතු සූදානම් කොට තිබෙනවා. ඒ අනුව ඉතාමත් සුවිශේෂී මෙම ව්‍යාපෘතිය කටයුතු අවසන් කිරීම දක්වාම කිසිදු පක්ෂ පාට ජාති ආගම් භේදයකින් තොරව සියලුම ශ්‍රී ලාංකික ජනතාවගේ සහයෝගය හිමි වනු ඇතැයි මා බලාපොරොත්තු වෙනවා.
එසේම මෙම ව්‍යාපෘතිය මඟින් රටට නව ආදර්ශයක් ලබා දෙමින් මෙම දුම්රිය මාර්ගයෙන් ඉවත් කරනු ලබන සෑම සිල්පර කොටයක්ම, පීල්ලක්ම, ආදි සෑම කොටසක්ම නිශ්චිත ආකාරයකින් ගණන් තැබීමකින් අනතුරුව විනිවිද පෙනෙන ආකාරයෙන් මුදල් බවට පත් කිරීමේ වගකීම දුම්රිය දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලයට හිමි වනවා. එසේම නැවත පරිහරණය කළ හැකි සෑම කොටසක්ම නැවත පරිහරණය කිරීම සඳහා යොදා ගැනීමට අප බලාපොරොත්තු වනවා.
රෂිකා හෙන්නායක